බිත්තර ආනයනය කිරීම සඳහා අවසර ඉල්ලමින් ඉදිරිපත් වූ ලිපි දෙකක් රජයේ වාණිජ හා නීතිගත සංස්ථාව මගින් පසුගිය 11 දින ලැබුණ බවත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම මගින් රෝග බෝවීමේ අවදානම අඩු බවට කමිටු නිර්දේශ ලැබුනහොත් බිත්තර ආනයනය කිරීමට හැකියාව තිබෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.
ගන්නෝරුවේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවකදී කොතලාවල මහත්මිය ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.
“මෑතකාලීන ඉතිහාසය තුළ මෙරටට බිත්තර ආනයනය කිරීමක් සිදු වී නැහැ. ඒ අනුව බිත්තර ආනයනය කිරීමේ ආයතන දෙක මගින් ඉදිරිපත් කළ ලියකියවිලි 16 වැනි දින උපදේශන කමිටුවට යොමු කළා. එමගින් ලබා දුන් නිර්දේශන 17 වැනි දින රජයේ වාණිජ නීතිගත සංස්ථාවට දැනුම් දීමට පියවර ගත්තා.
ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට ඇති හැකියාව සම්බන්ධව අවදානම් විශ්ලේෂණයක් සිදු කළ යුතුව තිබෙනවා. සතුන් හා සත්ව නිෂ්පාදන ආනයනය කිරීමේදී අවශ්‍ය නිර්දේශ ලබා දෙන උපදේශන කමිටුවේ නිර්දේශය මෙහිදී ඉතා වැදගත් වෙනවා.”
පසුගිය මාස හය 06ක කාලය තුළ කුරුළු උණ වාර්තා වූ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම මගින් රට තුළට රෝග ඇතුළු වීමේ අවදානම ඉතා අඩු බවට කමිටුව නිර්දේශ කළ හොත් එරටින් බිත්තර ආනයනය කිරීමට අවසරය ලබා දිය හැකි බවද අධ්යක්ෂ ජනරාල්වරිය පැවසීය.
ෂේන් සෙනෙවිරත්න
