ලාහුගල, බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතයේ මහවන මැද නිධානයක් හාරමින් සිටි පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු සහ නිධානය හෑරීමට යොදාගත් බව කියන හඬ ඈතට විහිද නොයන එක්ස්කැවේටර් යන්ත්‍රයක්, ජෙනරේටරයක් ඇතුළු උපකරණ තොගයක් සහ බහිරව පූජාවක් පැවැත්වීමට සකස් කළ කුකුළෙක් ඇතුළු පූජා භාණ්ඩ ඊයේ (25) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ලාහුගල පොතුවිල් ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් දහයක් දොළහක් පමණ ඈත දුරකින් රක්ෂිතය තුළදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ලාහුගල ජාතික උද්‍යානය සහ බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතය මායිම්වන කරද ඔය ආසන්නයේ මෙම නිධන් හෑරීම සිදුකර ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ලාහුගල කඳවුරේ නිලධාරීහූ මෙම වැටලීමට එක්ව සිටියහ. මෙම නිධන් හෑරූ බව කියන ස්ථානයට ‘හතරමහ නිධානය’ ලෙස හඳුන්වන බවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
සතිඅන්ත සහ දීර්ඝ නිවාඩු අලලා වනඅපරාධ සිදුකිරිම සහ නිධන් හෑරීමට සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රියා කරන බවද ඔහු සඳහන් කළේය. මෙම නිධන් හෑරීම පිටුපසද, බොහෝ බලවතුන් සිටිය හැකියැයි පොලිස් විශේෂ කාර්ය බලකායත්, වන සංරක්ෂණ නිලධාරීනුත් සැකකරයි.
එක්ස්කැවේටර් යන්ත්‍රයක්, ජෙනරේටරයක්, ජලයේ ගිල්වන වතුර මෝටරයක්, ගල් විදින ශකර් යන්ත්‍රයක්, කළුගල්පලූ කිරිමට ගන්නා යාන්ත්රිකතල, අලවංගුවක්, පොරවක්, ද එහි තිබී අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව බහිරව පූජාවක් පැවැත්වීමේ දී ගන්නා පූජාභාණ්ඩ, දුම් කබලක්, පන්දම්, ආරක්ෂක මුට්ටි අටක්, බිල්ලට දීමට ගෙනා කුකුළෙක්, මල්තටුවක් ආදියද එහි තිබී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ බළකායේ ලාහුගල කඳවුරු අණදෙන නිලධාරී ඞී.එම්.එන්.බී. දිසානායක මහතාට ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පොතුවිල් අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී රණසූරිය මහතාගේ උපදෙස් අනුව මෙම වැටලීමට යද්දී නිධන් හොරු ස්ථානයේන් පළාගොස් සිටියහ. එහෙත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
