සෞදි අරාබියේ, මක්කම හජ් වන්දනාව අතරතුර තෙරපීමකින් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් ඉරානය සෞදිය වෙත දැඩිව චෝදනා එල්ල කරන බව රොයිටර් පවසයි.
වසර 25ක හජ් වන්දනා ඉතිහාසය තුළ සිදුවූ දැවැන්තම ඛේදවාචකය ලෙස සැලකෙන මෙම සිදුවීමෙන් ඉරාන ජාතිකයන් 131 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් වාර්තාවලට අනුව 700 කට වැඩි පිරිසක් මින් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 800කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
ලෝකයේ වාර්ෂිකව වැඩිම ජනතාවක් එක්රැස් වන මෙම හජ් වන්දනාවේදී මිනිසුන් කළමනාකරණය කරගැනීම සඳහා රියාද් පාලනය අසමත් වී ඇති බවට ඉරානය චෝදනා කරයි.
මේ අතර ඉරානයේ ටෙහෙරාන් නුවරට රැස්වූ පිරිසක් 'සෞදි රාජ වංශයට මරණය අත්වේවා' යනුවෙන් කෑ ගසමින් විරෝධතාවක්ද පවත්වා තිබේ.
"මිනිස් සිරුරු තට්ටු වශයෙන් තිබුණේ. ඇතැම් විට තට්ටු තුනක් විතර උසට සිරුරු" යැයි සිද්ධිය ඇසින් දුටුවෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබුණි. "ඇතැම් අය මේ මළ සිරුරු කඳු අතර ජීවතුන් අතර සිටින ආකාරයද දක්නට ලැබුණා. නමුත්, ඔවුන් බේරාගැනීමට මේ මිනිස් කඳු තරණය කිරීමට උත්සාහ කළත් ඵලක් වුණේ නෑ. අවසානයේ ඔවුන්ගේ ශක්තියත් හීන වී ඔවුන් ඇස් ඉදිරිපිටම මරණයට පත්වුණා. ඔවුන් බේරාගැනීමට නොහැකි වීමෙන් කිසිදු හවුහරණක් නොමැති අසරණ බවක් දැනුණා" යැයි නම සඳහන් නොකර ඇති මෙම පුද්ගලයා පවසා තිබුණි.
හජ් වන්දනාවේ සැලසුම් යළි සලකා බලන ලෙස සෞදියේ සල්මාන් රජු අණ කර ඇති අතර, ජීවිතක්ෂයට පත්වූවන්ගේ අවසන් ලේඛනය සකස් කිරීමට පරීක්ෂණ පැවැත්වෙන බව සෞදියේ සෞඛ්‍ය අමාත්‍ය ඛාලිඩ් අල්-ෆලීහ් පවසා තිබේ.
මක්කම නගරයට නැගෙනහිරින් වූ මීනා හි හරස් මාර්ගයක් අතර මහා මිනිස් කණ්ඩායම් දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ තෙරපීමක් මෙම සිදුවීමට හේතු වී ඇති අතර, මෙය යක්ෂයාට ගල් ගසන චාරිත්‍රය සිදුකරන කාල සීමාවේදී සිදුව තිබේ.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබුණේ, විනයකින් තොර ඇතැම් වන්දනාකරුවන් බලධාරීන්ගේ උපදෙස් නොතකා කටයුතු කිරීමද අනතුර ඛේදවාචකයක් දක්වා වර්ධනය වීමට බලපා ඇති බවයි.
