'ඇවන්ට් ගාඩ්' සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබන මස 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා බන්ධනාගාර අධිකාරීවරයාට අද (14දා) නියම කළේය.
ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට කටයුතු සලසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඬුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබාගැනීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා යටතේ විභාග වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණය මේ බව නියෝග කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් 'ඇවන්ට් ගාඩ්' සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට කටයුතු සලසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඬුරක් ලෙස පිරිනැමු බවට 'ඇවන්ට් ගාඩ්' සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිවද, රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඬුරක් ලෙස ලබාගත් බවට 'රක්නා ලංකා' සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් පවරා ඇති මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කළේය.
එසේම මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාද අධිකරණය හමුවේ පෙනීසිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 14 වැනිදා සිට විභාග කිරීමට නියම කළ අතර, එදින අධිකරණයේ පෙනීසිටින ලෙස පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වෙත නියම කළේය.
