සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන සූර්යබල සංග්‍රාමය වැඩසටහන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ලබාදීමට එකඟ වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදල ශ්‍රීලංකාවට අහිමි වීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
ආසියානු සංවර්ධන බැංකුව 2017 වසරේ සැප්තැම්බර් 26 වැනිදා මෙම ණය මුදල අනුමත කර ඇති අතර, වසරක් තුළ එය ලබාගත යුතු බව දන්වා තිබේ. එසේ වුවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හාවිදුලිබල මණ්ඩලයේ නොසලකා හැරීම මත සහ නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත මෙම ණය මුදල ශ්‍රීලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදල ලබාගැනීමේ අවසාන දිනය මේ මස 27වැනිදා වන අතර, ආසියානු සංවර්ධන බැංකුව අවස්ථා කිහිපයකදී ඒ බව රජයට ලිඛිතව දන්වා ඇත. පසුගියදා ඒ සම්බන්ධ අවසන් නිවේදනයද රජය වෙත යොමුකර ඇතැයිද වාර්තා වේ.
වහල මත සූර්ය ජනන බල කට්ටල (solar panel) සවිකිරීම සඳහා සහනදායී ක්‍රමය මත ණය මුදල් ලබාදීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මෙම ණය මුදල් ලබාදීමට සැලසුම්කර ඇති අතර, එමගින් දැනට කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා වහලවල් සූර්ය විදුලි ජනනයට යොදාගනිමින් අමතර ආදායමක් උපයාගැනීමට විදුලිපාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවේ.
සූර්ය පැනල මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය ලබාගැනීමේදී ටෙන්ඩර් ක්‍රමය අනුගමනය කිරීමේ බාධා ඇතිවන බවත්, එය විදුලිබල පනත අනුව වැරදි ක්‍රියාවක් මෙන්ම මේ හරහා විදුලිබල මණ්ඩලයට ආර්ථික වාසි සිදුවිය හැකි බවත් මෙම ණය කෙටුම්පත අධ්යයනයකරනීතිපති දෙපාර්තමේන්තුව මගින් දැනුම්දී තිබීම මෙම ණය මුදල ලබාගැනීමට බාධාවක් වී ඇති බවද වාර්තාවේ.
එසේ වුවද මේවනවිටත් සූර්යබලශක්ති විදුලිජනනයක් ශ්‍රීලංකාව තුළ ක්‍රියාත්මක කරන අතර, ටෙන්ඩර් පටිපාටියෙන් තොරව එම විදුලිය මිලදීගැනීමට හැකි බව සඳහන් කරමින් මහජන උපයෝගිතා කොමිසම 2018 - 03 - 09 දින අංක 1961/50 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සඳහන් කර ඇත.
සූර්යබල සංග්‍රාමය යටතේ සුර්ය පැනල නිවසේ සවිකිරීම සඳහා ගෘහස්ථ පාරිභෝගිකයන්ට 100% ණයක්ද, කර්මාන්තකරුවන්ට 80%ක ණය මුදලක්ද ලබාදීමට සැලසුම්කර තිබේ.
කෙසේවෙතත් මෙම ණය මුදල ආසියානු සංවර්ධන බැංකුව මගින් ශ්‍රීලංකා මහ බැංකුවට ලබාදෙන බැවින් විදුලිබල මණ්ඩලය නීතිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් එය වැළැක්වීමට කටයුතු කරන බවත්, එම ණය මුදල විදුලිබල මණ්ඩලයේ වෙනත් ව්‍යාපෘතියක් සඳහා ලබාගැනීමට උත්සාහදරන බවත් වාර්තාවේ.
මෙවැනි කටයුතු හේතුවෙන් සැප්තැම්බර් 27 වැනි දිනට පෙර මෙම ණය මුදල බලාත්මක කිරීම සඳහා අවශ්‍ය කොන්දේසි සපුරාලීමට ශ්‍රීලංකා රජයට නොහැකි වුවහොත් මෙම ණය මුදල අවලංගු කිරීමේ දැඩි අවදානමක් පවතින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජුනි 02 වැනිදා කැබිනට් මණ්ඩලයට දන්වා ඇති අතර, මෙතෙක් ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන නොමැත.
මේ සම්බන්ධයෙන් විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාගෙන් කළ විමසීමේදී අදහස් දැක්වූ ඒ මහතා,
“මතුව ඇති තත්ත්වය සඳහන් කරලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කරන්න බලාපොරොත්තුවෙනවා. ඒතුළින් ගැටලුව විසඳෙයි කියලා අපි හිතනවා. සූර්ය පැනල සම්බන්ධයෙන් කැබිනට් තීන්දුවක් අවශ්‍ය වෙනවා. වහලය මත සූර්ය බලාගාර සවිකිරීම ප්‍රතිපත්තියක් වශයෙන් ආණ්ඩුව පිළිගත යුතුවෙනවා. මොකද මෙම ව්‍යාපෘතිය තුළින් විශාල සමාජ සුභසාධනයක් සිදුවෙනවා*යැයි ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතර, විදුලිබල මණ්ඩල ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ දී ක්‍රියාත්මක විදුලි මාෆියාවට සම්බන්ධ හා ඉන් වාසි ලබන පිරිස් විසින් සූර්යබලය මගින් විදුලිය ලබා ගැනීමට මහජනතාවට ලැබෙන ඉඩකඩ අහුරාලීමට කුමන්ත්‍රණකාරීව ක්‍රියාත්මක වන බවයි.
