ගම්පහ පොලිස් බල ප්රදේශයට අයත් උඩුගම්පොළ රාජ්ය බැංකුවක් කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරිවරයා ක්ෂණිකව ක්රියාත්මක වී වෙඩි තැබීමට සුදානම් වීම මත කොල්ලය වැරදීමෙන් පළා ගොස් ඇති බව ගම්පහ පොලීසිය පවසයි.
අද (28) පෙරවරු 9.15 ට පමණ මුහුණ ආවරණ කළ හෙල්මට් සහ ජැකට් පැළද යතුරු පැදියක පැමිණ ඇති තිදෙනෙකු බැංකුව ඉදිරියට පැමිණ ඇති අතර අයෙකු යතුරු පැදියෙහි සිටියදී අනෙක් දෙදෙනා බැංකුවට ඇතුලුවීමට තැත් කිරීමේදී එක් පුද්ගලයෙකු අත පිස්තෝලයක් සහ අනෙකා අත කඩුවක් තිබෙනු දුටු බැංකු ආරක්ෂක නිලධාරිවරයා ඔවුන්ට වෙඩි තැබීමට සුදානම් වෙනවාත් සමඟම කොල්ලකරුවන් දිව ගොස් යතුරුපැදියට නැගී ගම්පහ දෙසට පළා ගොස් ඇති බව එම බැංකුවෙහි නිලධාරිනියක් පැවසුවාය.
මේ සම්බන්ධයෙන් ගම්පහ මුලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය මගින් කළ පරීක්ෂණ මත කොල්ලකරුවන් පැමිණි යතුරුපැදිය අස්ගිරිය, ඇනිකට් හන්දිය අසල දමාගොස් තිබියදී සොයා ගෙන ඇති අතර එහි අංක තහඩු ගලවා දමා ඇති බව පොලීසිය පවසයි.
කොල්ලකරුවන් පැමිණි ආකාරය බැංකුවෙහි ආරක්ෂක කැමරා වල සටහන්ව ඇති බවත් කොල්ලය සඳහා පැමිණි යතුරුපැදිය සොරකම් කළ එකක් බවට සැක කරන බවත් මුලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා තිබේ.
