සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය රාජ්‍ය පාලන සමයේදී අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) දැනුම් දුන්නේය.
කොරෝනා වසංගත තත්ත්වය හේතූවෙන් සිංගප්පූරු - ශ්‍රී ලංකා ගිවිසුම යළි සලකා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ අධ්‍යයන කටයුතු වල යම් පමාවක් සිදු වූ බව දැනුම් දුන් නීතිපතිවරයා එම අධ්‍යයන කටයුතු අවසන් කිරීමට කල් ලබා දෙන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණයෙන් ඉල්ලීමක්ද කළේය.
රජයේ නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් මව්බිම ලංකා පදනම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ආයතන හා පුද්ගලයින් පිරිසක් ගොනු කර ඇති පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (13) සලකා බැලූ අවස්ථාවේදීය.
ප්‍රියන්ත ජයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවිණි.
මව්බිම ලංකා පදනම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු අට දෙනෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ නීතිපතිවරයා නම් කොට ඇත.
ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරු රජය විසින් අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැණි බවත් එම නිදහස් වෙළඳ ගිවිසුම තුළින් සිංගප්පූරු ජාතික වෘත්තීයවේදින්ට නිදහසේ ශ්‍රී ලංකාව තුළට පැමිණ වෘත්තීය කටයුතු වල නිරත වීමට අවශ්‍ය අවකාශ සැලසෙන බවත් පෙන්වාදෙන පෙත්සම්කරුවෝ මෙම වෙළඳ ගිවිසුමෙන් ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්ට ලැබෙන වාසි ඉතාම අල්ප බව පෙන්වා දෙති.
මෙම වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් මෙරට වෛද්‍ය, ඉංජිනේරු, නීති, මිනින්දෝරු ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීයවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට දැඩි බාධාවක් සිදුවිය හැකි බවත් එම ගිවිසුමේ අඩංගු ප්‍රතිපාදන මෙරට ස්වෛරීභාවයට මෙන්ම ආර්ථිකයට හා වෘත්තීය කටයුතුවලට දැඩි හානියක් එල්ල කරන බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර රජය ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් නිසි අනුමැතියක් ලබාගෙන නොමැති බවත් මේ හේතුවෙන් අදාළ ගිවිසුමේ අන්තර්ගත ප්‍රතිපාදන මෙරට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එම ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැය ඉල්ලා සිටිති.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා කරුණු ඉදිරිපත් කරමින් මේ වන විට අත්සන් කොට ඇති සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව වත්මන් රජය නැවත විමර්ශනය කිරීමට තීන්දු කොට ඇතැයිද ඒ අනුව කමිටුව එම නිදහස් වෙළඳ ගිවිසුමේ අන්තර්ගත කරුණු පිලිබද තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින්නේ යැයිද පැවසීය.
කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් ලබන නොවැම්බර් 03 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර එදිනට එම කටයුතු වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති නියෝජනය කරමින් රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.
