ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන සේවිකාවක සම්බන්ධයෙන් සිදුවූ බව කියන සාපරාධී සිදුවීම පිළිබඳව පොලීසිය පරීක්ෂණයක් පවත්වන බවත් ශ්‍රී ලංකා රජය සිදුවීම බැරෑරුම්ව ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
“2019 නොවැම්බර් 25 වැනි සඳුදා කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගනු ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සම්බන්ධයෙන් සිදු වූයේ යයි කියනු ලබන සාපරාධී සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා රජය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන තිබේ.
සිදුවූ බවට ප්‍රකාශ වන මෙම සිද්ධිය පිළිබඳව දැනගැනීමෙන් අනතුරුව, පොලීසිය මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට වහාම පියවර ගෙන තිබේ.
මෙම විමර්ශනය සුමටව සහ ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුකූලව සිදුකිරීම සඳහා අදාළ බලධාරීන්ට අවස්ථාව සලසා දීම පිණිස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
ස්විට්සර්ලන්තය සඳහා සමගාමීව අක්ත ගන්වා සිටින ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමා මෙම පරීක්ෂණය පිළිබඳ යාවත්කාලීන කිරීමක් සඳහා ළඟදීම ස්විට්සර්ලන්ත බලධාරීන් හමුවීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල සුමට ක්‍රියාකාරිත්වයට පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියට (1961) රාජ්‍ය පාර්ශ්වයක් ලෙස පවරා ගන්නා ලද බැඳීම් ක්‍රියාවට නැංවීම සඳහා වූ කැපවීම නිසැකවම තහවුරු කිරීම පිණිස ශ්‍රී ලංකා රජය මෙහි දී අවස්ථාව සලසා ගනු ඇත.”