සත්පෙති ඔටිසම් සහ ස්නායු විවිධත්ව මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අරඹයි
රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රයේ අලුතින් ඉදි කෙරෙන, ඔටිසම් සහ අනෙකුත් ස්නායු සංවර්ධන විවිධත්වයන් සහිත දරුවන් වෙනුවෙන් වූ "සත්පෙති" ඔටිසම් සහ ස්නායු විවිධත්ව මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ උත්සවය අද (06) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 363ක සමස්ත පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 252ක් ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා වෙන් කර ඇත.
"සත්පෙති" ලෙස නම් කෙරුණු මෙම මධ්‍යස්ථානය මඟින් සෙනෙහස, අවබෝධය, බලාපොරොත්තුව සහ කැපවීම නිරූපණය කෙරේ. දරුවන්ගේ අනන්‍ය සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීම, ඔවුන් සතු හැකියාවන් වර්ධනය කිරීම, සමාජානුකරණය, කථන හා භාෂා චිකිත්සාව, දෛනික ජීවන කුසලතා වර්ධනය මෙන්ම පවුල් කේන්ද්‍රීය සහය වැනි බහුවිධ සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
උත්සව සභාව ඇමතූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය සඳහා ගතවන දින 546ක ඉදිකිරීම් කාලසීමාව අවම කරමින්, එය ලබන වසරේ දෙසැම්බර් මස වන විට ජනතා අයිතියට පත් කිරීමට හැකිවන පරිදි කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් කාර්යක්ෂමව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා සියලු දෙනා එක්ව වැඩ කළ යුතු බව ද වැඩිදුරටත් පැවසීය.
මහල් හතරකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිමවන විට, ඊට සමගාමීව අවශ්‍ය සියලුම වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ද අවසන් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, මධ්‍යස්ථානයේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අනුමත කරගනිමින්, ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් ලබා දී ඉදිකිරීම් අවසන් වූ වහාම සේවාවන් ආරම්භ කිරීමට කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
සමාජය තාක්ෂණිකව වේගයෙන් වෙනස් වන යුගයක, ඔටිසම් වැනි තත්ත්වයන් පිළිබඳව පවතින සමාජීය ආකල්ප වෙනස් විය යුතු බවත්, මෙවැනි දරුවන් සමාජයේම කොටසක් ලෙස වැළඳ ගැනීමට සමාජය සූදානම් විය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන් අනතුරුව සභාව ඇමතූ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය කියා සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් සිය පළමු අයවැය මඟින් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කිරීම මෙම ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූ බවයි. ඒ තීරණය අනුව මෙම මධ්‍යස්ථානය සඳහා සුදුසු ස්ථානයක් සැලසුම් කර ඉදිරි ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීමට හැකි වු බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ සඳහා අඛණ්ඩව සිය දායකත්වය සහ සහයෝගය ලබා දුන් බවත් ඇය පැවසුවාය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලොව පුරා සෑම දරුවන් 100 දෙනෙකුගෙන් එක් අයෙකුට ඔටිසම් තත්ත්වය පවතින අතර, ශ්‍රී ලංකාවේ 2009 වසරේ සිදුකළ අධ්‍යයනයකට අනුව දරුවන් 93 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම තත්ත්වය පවතින බව හඳුනාගෙන ඇති බව ද වෛද්‍යවරිය සඳහන් කළාය. ඇමරිකා එක්සත් ජනපදයේ CDC දත්ත අනුව වයස අවුරුදු 8 දරුවන් අතුරින් 36 දෙනෙකුගෙන් එක් අයෙකුට ද ඔටිසම් තත්ත්වය පවතින බව ඈ පෙන්වා දුන්නාය. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා නව යොවුන් මානසික සෞඛ්‍ය ඒකකයේ සායන සඳහා පැමිණෙන දරුවන්ගෙන් 50%කට වඩා වැඩි පිරිසක් මෙවැනි ස්නායු සංවර්ධන ගැටලු සහිත දරුවන් වීම හේතුවෙන්, ඔවුන් සඳහා විධිමත් සේවාවක් සැපයීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ද ඒ මහත්මිය අවධාරණය කළාය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවා යෝජකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ඉංජිනේරු කටයුතු මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) මඟින් සිදු කරනු ලබන අතර, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු ලෙස නවලෝක කන්ස්ට්‍රක්ෂන් සමාගම කටයුතු කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
