සුව කරන්න බැරි රෝග වලට මෙතෙක් සොයාගෙන නොමැති බෙහෙත් වර්ග අලුතින් සොයාගෙන ඒ අසරණ රෝගීන් සුවපත් කරන වෛද්‍යවරයකු වීම අනාගතයේදී තම එකම බලාපොරොත්තුව බව මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය අනූ අටක් ලබා දිවයිනේ ප්‍රථම ස්ථනය දිනූ පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉඩංගොඩගේ චෙනිත නෙත්දිනු පෙරේරා සිසුවා පැවසීය.
චෙනිත නෙත්දිනූ සිසුවා මේ බව කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගයෙ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව පළමුවරට සිය මාපියන් සමග පාසැලට පැමිණ විදුහල්පති මාධවී ඉලංගසිංහ කන්‍යා සොහොයුරිය හා පන්ති භාර ආචාරිණී අමිලා සෙනරත් ගුරුතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හමු වී ආශීර්වාද ලබා ගැනීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙම අවස්ථාවට චෙනිත නෙත්දිනූ පෙරේරා සිසුවාගේ පියා චන හෝමාගම දියගම අංක 53/2 හි පදිංචි චන්දන කුමාර පෙරේරා සහ මව වන තුෂාරි නිරෝෂා චන්ද්‍රසේකර , සහ බාල සොහොයුරු මිහිත මෙත්දිනූ පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
එහිදී තවදුරටත් අදහස් පළකරමින් චෙනිත නෙත්දිනූ පෙරේරා සිසුවා මෙසේද කීය.
"ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්ව උනාට මම හිතුවේ නැහැ ලංකාවෙන්ම පළවෙනියා වෙයි කියලා. ඒත් මගේ අම්මා මාව උනන්දු කළා පුතේ ඔයා ලංකාවේ පළවෙනිය වෙනවා කියලා. ඒ උනන්දු කිරීම අනුව මම උත්සාහයෙන් උනන්දුවෙන් පාඩම් ටික කලා. ප්‍රතිඵල ආවහම තමයි දැනගත්තෙ ලකුණු 198 ක් ලබාගෙන ලංකාවේ පළවෙනිය කියල. ඒ ගැන මට ගොඩක් සතුටුයි.
මට පොඩි කාලේ ඉඳලා අම්මා කියලා දුන්නා කාලසටහනකට අනුව දවස ගෙවන්න පුරුදු වෙන්න කියලා. ඒ අනුව මම දවස බෙදාගෙන කාලසටහනකට වැඩ කළා . උදේ පහට නැගිටලා උදේ හයහමාරට ඉස්කෝලේ යනවා. ඒ ගිහින් ඇවිල්ලා පැයක් දෙකක් ටීවී බලල, ඉස්කෝලෙන් දීපු ගෙදර වැඩ කරනව. ඊට පස්සේ ආපහු ටීවී එක ටිකක් බලල රෑ 8 වෙනකොට නිදාගන්නවා.
ගෙදර වැඩ කරන කොට ඉස්කෝලේ වැඩ කරනකොට මට වරදින දේවල් මම වෙනම පොතක ලියා ගත්තා. ඊට පස්සේ ඒවා නැවත නැවත බල බලා එකෙන් එක හරි ගස්ස ගත්තා. කොයි වෙලාවකවත් ඒව මග ඇරෙන්න දුන්නේ නෑ. නිවාඩු තියන වෙලාවට ලොකු අය කියවන පොත් කියවන්න මං පුරුදු වුණා. ඒවායින් මට ලොකු දැනුමක් ආවා.
ඊට අමතරව මම හරි ආසයි චිත්‍ර අඳින්න.සංගීතයට සහ චෙස් ක්‍රීඩාවටත් ගොඩක් ආසයි , විවේක තියෙන වෙලාවට ඒවටත් මම කාලය වෙන්කර ගත්තා. උපකාරක පන්තිවලටත් ගියා. මෙවගේ හැමතැනින්ම ලැබුණු දැනුම මට ගොඩාක් උදව් වුණා විභාගය පාස් වෙන්න.
ඉදිරියටත් මම හොඳට ඉගෙනගෙන විභාග පාස් කරල රටට වැඩක් කරන්න පුළුවන් වෛද්‍යවරයෙකු වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ . මේ ලෝකෙ ගොඩක් ලෙඩ්ඩු ඉන්නව සුව කරන්න බෙහෙත් නැතුව. ඒ නිසා අන්න ඒ වගේ අසරණ වෙලා ඉන්න ලෙඩ්ඩු සුව කරන්න පුළුවන් බෙහෙත් වර්ග හොයාගෙන ඔවුන් සුව කිරීම තමයි මගේ අනාගත බලාපොරොත්තුව"
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


