“ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව” නමින් වෙනම සේවාවක් ස්ථාපනය කිරීම වෙනුවෙන් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට අද (11දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ගුරු උපදේශක කාර්යය 1960 දශකයේ සිට ම ක්‍රියාත්මක ව පවතින අතර, මෙම සේවාවේ වැදගත්කම සහ කාලීන අවශ්‍යතාව තමා විසින් හඳුනාගත් නිසා 2016 වසරේ සිට මේ සම්බන්ධ ව ගත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් මේ අයුරින් ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව ස්ථාපනය කිරීමට හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව, ඉදිරියේ දී ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව සඳහා උපදේශකවරුන් 4,471ක් බඳවා ගැනෙන අතර, මෙම සේවාව ස්ථාපනය කිරීමත් සමඟ අධ්‍යාපන ක්ෂේත්රයේ මෙතෙක් පැවති ශ්‍රී ලංකා ගුරු සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, අතරට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව ද අලුතින් එක්වෙයි.