ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන සදහා වැඩි ඉඩක් ලබාදීමට කුර්දිස්ථානය එකඟතාවය පළ කරයි.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළ විය.
කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ඩලයේ සභාපති ධාරා ජාලිල් ඛාලීල් ඇතුළු නියෝජිතයෝ 16 දෙනෙක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. ඉරාක ශ්‍රී ලංකා කොන්සාල්ජෙනරාල්වරයා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මෙම සංචාරය සංවිධානය කර තිබිණි.
මෙම නියෝජිතයන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාට පෙන්වා දුන්නේ කුර්දිස්ථානයට පුහුණු ගුරුවරුන්ගේ හිඟයක් පවතින බවයි. ආර්ථික සහයෝගිතාවයක් ලෙස පුහුණු ගුරුවරුන්ට කුර්දිස්ථාන ප්‍රාන්තයේ රැකියා අවස්ථා ලබාදීමේ හැකියාවද මෙහිදි අවධාරණය කෙරිණ.
කෘෂිකාර්මික අපනයන සදහා කුර්දිස්ථානයෙන් වැඩි අවස්ථාවක් ලබා දිය හැකි බව පෙන්වා දුන් කුර්දිස්ථාන නියෝජිතයෝ මෙරට තේ හා කුරුදු කුර්දිස්ථානයෙන් ඉහළ ඉල්ලුමක් තිබෙන බවද පැවසීය.
මෙම සාකච්ඡාවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද එක්ව සිටියහ.
