ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟවූ අමනෝඥ තීන්දු තීරණ වලින් ඈත් වීමට කටයුතු කරන්නේ නම් මෙරට ජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත භාවය සුරක්ෂා කිරීමට එකට හිට ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (19දා) පැවති විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුවට රැස් වූ අවස්ථාවේ හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී විපක්ෂයේ දේශපාන පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් මෙලෙස අදහස් පළ කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි - දූෂණය සම්බන්ධව අපි විපක්ෂය හැටියට සහය ලබා දෙන්නේ කෙසේද කියන කාරණය විපක්ෂයේ සියලු දෙනා එක්ව විපක්ෂනායකතුමාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡා කළා. එහිදී තීරණය වුණා මේ මොහොතේ ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතට එහාගිය දූෂණ විරෝධී කටයුත්ත බොහෝ දුරට සාර්ථක කිරීමට. ඒ වෙනුවෙන් අපේ සංශෝධන සකස් කරලා අවසානයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් - මේක රටේ සියලුදෙනාගේ ජීවිත වලට ඍජුව බලපාන දෙයක්. විශේෂයෙන්ම වැඩ කරන ජනතාවගේ අර්තසාදක අරමුදල. ඒ විදිය දෙයකට බලපෑමක් තියෙන තීරණයක් සම්බන්ධයෙන් මීට වඩා පුළුල් විදියට විපක්ධයේ අදහස් විමසන්න ඕනී.
අපිට කිසිදු අවශ්‍යතාවයක් නෑ මේක පටු දේශපාලන දෘෂ්ඨි කෝණයකින් බැලීමට. අපේ සහයෝගය, අදහස් උදහස් අවශ්‍ය නම් තොරතුරු තියෙන්න ඕනී. මේ අවස්ථාවේ අපිට කිසිදු තොරතුරක් නෑ. සම්පූර්ණ අන්දකාරයේ. මේකට විකල්ප රාශියක් තිබෙනවා.
මේක ලහි ලහියේ ක්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම තුළ අපිට නම් හැඟෙන්නේ ජනතාවගෙන් අහිතකර ප්‍රතිචාරයක් ලැබෙයි කියලා රජය හොඳටම දන්නා නිසා මුල ඉදන්ම සත්‍ය වසන් කළා. ඒ විදියට අපි දකින්නේ නෑ ඵලදායී විසඳුමකට අපිට එළඹෙන්න පුළුවන් කියලා.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - මේ රටේ ඉදිරි ආර්ථික ගමන තුළ මොන ආකාරයටද ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කරන ක්‍රියාදාමය ජනතාවට අඩුවෙන්ම අගතිගාමී බලපෑම් ඇතිව ක්‍රියාත්මක වන ආකාරය. පුන පුනාම අපි රජයෙන් ඉල්ලීමක් කළා අයි.එම්.එෆ් ස්ටාෆ් ලෙවල් ඇග්රිමන්ට් එකේ තොරතුරු එළිපිටම ප්‍රකාශ කරන්න කියලා.
ඒ ස්ටාෆ් ලෙවල් ඇග්රිමන්ට් එකේ ප්‍රතිපාදන දැනුවත්ව අපි කටයුතු කළා නම් අපිට හැකියාවක් ලැබෙනවා විශේෂයෙන්ම රජය අයි.එම්.එෆ් එකත් එක්ක කරන ගණුදෙනුව ජනතාවගේ පැත්තෙන් වඩාත් ශක්තිමත් කරන්න. ජනතාවාදීව, ප්‍රගතිශීලීව ජනතාව ගැන හිතලා ක්‍රියාත්මක කරන්න.
නමුත් ඒ දේ සිදු වුණේ නෑ. රජය ඉතාමත් දුර්වල ගිවිසුමකට ප්‍රවේශ වෙලා තිබෙනවා. රට ගැන හිතලත් නෑ. ජනතාව ගැන හිතලත් නෑ. මහජන සුබසාධනය ගැන හිතලත් නෑ. ජනතාවගේ තැන්පතු ගැන හිතලත් නෑ. එවන් තත්ත්වයක් තුළ ඒ වගේ නොහොඹිනා තීන්දුවකට ප්රගතිශීලි විපක්ෂයක් ලෙස අපිට එකඟ වෙන්න බෑ.
මම රජයට යෝජනාවක් කරනවා. කළබලයට, හිතුමතේට කියපු කොන්දේසි වලට අත් දෙකම උස්සලා එකඟ වුණු තත්ත්වයත් තුළ දැන්වත් කළබලකාරී තීන්දු තීරණ ගන්නේ නැතිව විපක්ෂයට සියළුම කරුණු කාරණා හෙළිදරව් කරලා, විපක්ෂයත්, රජයත් අපි සියලුදෙනා එකහඬින් අයි.එම්.එෆ් එකට පුළුවන් නම් කියන්න දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අපේ තදබල විරෝධයක් තියෙනවා කියලා.
එහෙම කළොත් අපිට පැහැදිලි බලපෑමක් එල්ල කරලා ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්, විශ්‍රාමිකයන් රැකගැනීමේ ක්‍රමවේදයකට ඉදිරියට යන්න පුළුවන්. රජයෙන් ඉල්ලීමක් කරණවා තමන් ගත්ත අමනෝඥ තීන්දු තීරණ වලින් අඩි ගණනාවක් පස්සට ගිහින් අපි අලුත් විදියකට ඉදිරියට යමු. ඒක තමයි අපි දෙන විසඳුම.