අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්කිරීමට එක්සත් ජතික පක්ෂය සමත් විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 76ක් ලැබුණු අතර, එයට එරෙහිව ඡන්ද 122 ක් ලැබිණි.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් හා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු 26ක් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණියහ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනාම විශ්වාසභංගට විරුද්ධව ඡන්දය භාවිත කළහ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණ, හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු 16ක් ඇතුළුව 76ක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළහ. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ අමාත්‍යවරුන් අතර එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයනත්, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, චන්දිම වීරක්කෝඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේදා ජී. ජයසේන, අනුරාධ ජයරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචිනිළමේ, ටී.බී. ඒකනායක, තාරානාත් බස්නායක, යන මහත්ම මහත්මීහු සිටියහ.
ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගබේ නොසිටි නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අතර මහින්ද අමරවීර, සරත් අමුණුගම, නිමල් සිරිපාලද සිල්වා, දුමින්ද දිසායායක, ෆයිසර් මුස්තාෆා, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලා පිටිය, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, සාරතී දුෂ්මන්ත, නිශාන්ත මුතුහෙට්ටිගම, කාදර් මස්තාන්, මොහාන් ලාල් ග්‍රේරු, වීරකුමාර දිසානායක, මලික් ජයතිලක ඇතුළු පිරිසක් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය අද (04දා) පෙ.ව. 10.00ට පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ අතර, එය පුරා පැය 11කට ආසන්න කාලයක් විවාදයට ගනිමින් රාත්‍රී 9.30ට පමණ ඡන්ද විමසීම ආරම්භ විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා (02දා) පැවැති රැස්වීමේදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළද, ඊයේ පෙරවරුවේදී එහි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ අතර, පිරිසක් විශ්වාසභංගටය පක්ෂව ඡන්දය භාවිත කළහ.
ඒ අනුව විශ්වාසභංගය යෝජනාවත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙපාර්ශ්වයකට කැඩී ගියේය. පාර්ලිමේන්තුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් සඳහන් කළේ, තමන් විශ්වාසභංග යෝජනවට පක්ෂව ඡන්දය භාවිත කළද, ඇමතිවරුන් ලෙස අඛණ්ඩව කටයුතු කරන බවයි.
විශ්වාසභංග යෝජනාව විවාදයේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පැවසුවේ, විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කරන සියලු ඇමතිවරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉවත් විය යුතු බවයි.
විශ්වාසභංග විවාදයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ නාමල් රාජපක්ෂ මහතා අදහස් දැක්වීමට ඉදිරිපත් නොවූ අතර, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු බෝහෝ දෙනෙක් චෝදනා එල්ල කළහ.
මේ අතර, විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කරන බව හෝ ඡන්දය දීමෙන් වැළකී සිටින බවට මුලදී ප්‍රකාශ කළ එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත වෙනසක් ඇති කළ යුතු බවට හඬනැගූ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනනායක යන මහත්වරුන් ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ තමන් දෙදෙනාද ඇතුළු 27ක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කළ බවයි.
පාර්ලිමේන්තුව හෙට (05දා) පෙරවරු 10.30 කල් තැබිණ.