කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට ඊයේ (18) දින හදිසියේම ඇතිවූ අධික වැසි ,දැඩි අකුණු ගැසීම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය නිසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .
ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානය ඊයේ දින සවස 6.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණියත් , ඒ වනවිට ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා , එම ගුවන් යානයේ ගුවන් නියමුවන් මුහුණ දී සිටි අපහසුතා සැලකිල්ලට ගෙන , මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ අතර , එය සවස 6.56 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබුණි .
ඒ වනවිට මත්තල ගුවන් තොටුපළ අවට කාලගුණික තත්ත්වය යහපත් මට්ටමින් පැවතුනි .
එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් වසර 07කට පසුව මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීම විශේෂත්වයකි.
මෙම එමිරේට්ස් ගුවන් යානය බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක් වන අතර , එහි මගීන් 76 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටි අතර , ඔවුන් ගුවන් යානයෙන් පිටතට නොබැස්සවීමට පියවර ගෙන තිබුණි .
මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමේ දී එහි ඇන්ජින් වෙත කුරුල්ලන් කීප දෙනෙකු ගැටීමකට ලක් වූ බවට ගුවන් යානයේ නියමුවා විසින් මත්තල ගුවන් ගමන් මෙහෙයුම් මැදිරිය වෙත දැනුවත් කිරීමක් සිදු කර තිබුණි . ඒ නිසා විධිමත් පරීක්ෂණයකින් පසුව පමණක් තම ගුවන් යානය පිටත්වීම සිදු කරන බව ගුවන් නියමුවා පාලන මැදිරිය වෙත දන්වා තිබුණි .
ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි - 12 වර්ගයේ ගුවන් යානයකින් ගුවන් යානා ඉංජිනේරුවරයෙකු මත්තල ගුවන් තොටුපළ වෙත රාත්‍රී 10.37 ට පැමිණ තිබේ .
ඉන්පසුව එම ගුවන් යානා ඉංජිනේරුවරයා මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් පසුව , එවැනි ගැටීමක් සිදු වි නොමැති බව තහවුරු කර සහතික කර තිබේ .
ඉන්පසුව මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා දීමෙන් අනතුරුව , මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළෙන් රාත්‍රී 11.20 ට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්වූ අතර , එම ගුවන් යානය රාත්‍රී 11.40 කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය .
ඒ සමගම ගුවන්යානා ඉංජිනේරුවරයා රැගෙන මත්තල බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි.- 12 ගුවන්යානය ද කටුනායක බලා පිටත්විය .
ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට කාලගුණික තත්ත්වය යහපත් මට්ටමක පැවති අතර , ගුවන් තොටුපළ ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් තිබුණි.
