වවුනියාව ඊරට්ට පෙරියකුලම් පැරකුම් මහාවිද්‍යාලයේ බඹර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් අද (29) උදෑසන පාසල වසා දැමීමට විදුහල්පතිවරයා විසින් පියවර ගෙන තිබේ.
පාසලේ පිහිටි බඹර කූඩුව ඇවිස්සීම හේතුවෙන් පාසලේ පංති කාමරවලට බඹරුන් පැමිණිමත් සමග පාසලේ අධ්‍යාපනික කටයුතු එම අවස්ථාවේදීම නවතා පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල වසා දැමීමට කටයුතු කොට ඇති අතර, පාසල් ළමුන්ගේ දෙමාපියන් විසින් ළමුන් ආරක්ෂා සහිතව නිවෙස් වෙතට රැගෙන ගියේය.
මේ අතර මේ දිනවල පාසල් වාර විභාගයද පැවත්වෙන අතර, අද දිනයේදී පැරකුම් මහාවිද්යාලයේද වාර විභාගය පැවත්වීමට නියමිතව තිබුණි. මෙසේ බඹර කූඩුව ඇවිස්සීම හේතුවෙන් විභාගයද නොපැවත්වීමට පියවර ගැනුණි.
කෙසේ වෙතත් නිවාඩු දිනයක මෙම බඹර කූඩුව කඩා ඉවත් කරන ලෙසට කිහිප අවස්ථාවකදීම දැනුම් දී ඇති නමුත් පාසලේ කිසිවෙක් එයට අවධානය යොමු නොකළ බවත්, තම දරුවන් කිහිප දෙනෙකුටම බඹරුන් දෂ්ට කළ අතර, පාසලේ වගකිවත්තන් ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අද දින මෙසේ පාසල වසා දැමීමට සිදු වූ බවත් පාසල් දරුවන්ගේ දෙමාපියෝ පවසා සිටිති.
එමෙන්ම පාසලේ අධ්‍යාපනික කටයුතු සිදුවන අවස්ථාවකදී බඹර කූඩුව ඇවිස්සුනේ නම් විශාල හානියක් සිදු වීමට ඉඩ තිබූ අතර, ඉතා ඉක්මනින් මෙම බඹර කූඩුව ඉවත් කිරීමට පියවර ගත යුතු බවටද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.