මඩකලපුව , වව්නතිව් පොලිස් මාර්ග බාධකයට ඉකුත් 2018.11.30 ඩදින රාත්රී පහර දී , එහි රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා මරා දැමූ , තවුහිද් ජමාද් සංවිධානයට අයත් ප්රධාන සැකකරු ඇතුළු තවත් එම සංවිධානයට අයත් පස් දෙනෙකු අද (14) දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
මෙම සැකකරු පිරිස අත්අඩංගුවට ගැනීමට ඉකුත් 6/11 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් සෞදි අරාබිය වෙත ගොස් තිබුණි .
ඉන්පසු ඔවුන් අත්අඩංගුවට ගත් පිරිස සමඟ අද දින අලුයම 4.30 ට සෞදි අරාබියේ ජෙඩා නුවර සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
එච්.එම්.ඒ.නිල්හාන් , එම්.ඒ.මොහොමඩ් මිලා , ඒ.අබුසාලි , එම්.අයි.එම්.ස්මායිල් සහ එම්.එම්.එම්. ෂානාවස් ෂව්රි මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පිරිසයි.
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමෙන් පසු , ගුවන් තොටුපළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දී තිබේ.
කටුනායක ටි.කේ.පි කපිල
