වයඹ උපසභාපති ඡන්දයේදී ආණ්ඩුවේ ඡන්දයක් විපක්ෂයට
පුරප්පාඩුව පැවැති වයඹ පළාත් සභාවේ උපසභාපති ධුරයට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ටිකිරි අධිකාරි මහතා තේරී පත්විය. මෙම තනතුරට සුදුස්සෙකු පත්කර ගැනීමට අද (16දා) පළාත් සභාවේදී පැවැත්වූ ඡන්ද විමසුමේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ හෙක්ටර් අප්පුහාමි මහතාව වැඩි ඡන්ද 16 කින් පරාජය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරිපත් කළ ටිකිරි අධිකාරි මහතා ජයග්‍රහණය කළේය.
මෙම තනතුරට අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් ඒ සඳහා පළාත් සභාවේව කාර්ය රීති පරිපාටියට අනුව රහස් ඡන්දයක් පැවැත්වීම සභාපති ධර්මසිරි දසනායක මහතා තීරණය කළේය.
මේ අනුව රහස් ඡන්ද විමසුමේදී ටිකිරි අධිකාරි මහතාට පක්ෂව ඡන්ද 30 ක්ද, හෙක්ටර් අප්පුහාමි මහතාට පක්ෂව ඡන්ද 14ක් ද ලැබුණි. ඡන්දය විමසූ අවස්ථාවේදී විපක්ෂයේ සිටියේ මන්ත්‍රීවරු 13ක් වුවද හෙක්ටර් අප්පුහාමි මහතාට පක්ෂව ඡන්ද 14ක්ම ලැබී තිබීමෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුද හෙක්ටර් අප්පුහාමි මහතාට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂ සිදුවීමක් විය.
මේ අවස්ථාවේදී ප්‍රථමයෙන් ඡන්දය භාවිත කිරීමට ගිය වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තම ඡන්දය සභාවට පෙන්වීම හේතුවෙන් විපක්ෂයේ එල්ලවූ දැඩි විරෝධය හමුවේ සභාවේ උණසුම් තත්ත්වයක් හට ගැණිනි. එහිදී ඇතිවූ දෙපක්ෂයේ වචන හුවමාරුවීම් හේතුවෙන් මෙම ඡන්ද විමසීම නීති රීතිවලට අනුකූලව පවත්වන ලෙස සභාපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවවාද කළේය.
ඡන්ද විමසීමෙන් අනතුරුව නව උපසභාපතිවරයා ලෙස පත්වූ ටිකිරි අධිකාරි මහතා සභාපතිවරයා හමුවේ දිවුරුම්දී නව තනතුරේ වැඩබාර ගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

