මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු කම්කරුවන් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සේවයට වාර්තා නොකර අද (03) උදෑසන එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී වතු පාලනාධිකාරියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ.
හොරණ වැවිලි සමාගමට අයත් මෙම තේ වතුයායේ උද්ඝෝෂණයට එක්ව සිටි කම්කරුවන් කියාසිටියේ, අද දින සේවයට වාර්තා කිරිමට ප්‍රථම වතු පාලනාධිකාරිය මගින් තමන්ට විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කළ බවත්, එය සමග සේවයට වාර්තා කළ යුතු බවත්, මෙතෙක් කල් නොතිබුණු එම ක්‍රියාව නිසා වතු කම්කරුවන් වන තමන් අපහසුතාවට පත්ව සිටින බවත්ය.
තවද වත්තේ කාලයක් තිස්සේ වෛද්‍යවරයෙක් හා ගිලන් රථයක් නොමැති කමින් අපහසුතාවට පත්ව සිටින බවත්, දළු නෙලීමට නොහැකි අයුරින් වත්ත කැළෑ වැදී තිබීම හේතුවෙන් දිවියන්ගේ දැඩි තර්ජනයක් පවතින බවත් මෙම කම්කරුවෝ කියා සිටිති.
දිනකට තේ දලු කිලෝ 14 ක් නෙළමින් තිබූ ක්‍රමය වෙනස් කර කිලෝ 18 ක් අනිවාර්යයෙන් නෙළිය යුතු බවට දන්වා ඇති බවත්, රුපියල් ලක්ෂ 67 ක් වැය කර විද්‍යුත් තරාදියක් අමු තේ දලු කිරීම සඳහා මිලදී ගෙන ඇති බවත් පවසන මෙම කම්කරුවෝ, තමන්ගේ හිඟ වැටුප වන රුපියල් 50/- වැඩි කර දීමට නොහැකි මෙම වතු සමාගම වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ක්‍රමක් ක්‍රමයෙන් කප්පාදු කරමින් සිටින බවත් පවසති.
දැනට වත්තේ සිටින වතු පාලකවරයා මෙම වතුයායෙන් ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටින මෙම කම්කරුවෝ, තම ඉල්ලීම් ඉටුවන තෙක් වැඩ වර්ජනය හා උද්ඝෝෂණ වෘත්තීය සමිති භේදයකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් පවසති.
අප මේ සම්බන්ධව ඕල්ටන් තේ වතුයායේ පාලනාධිකාරියෙන් කළ විමසුමකදී එහි උසස් නිලධාරියෙක් කියාසිටියේ, මෙම නව හැඳුනුම්පත හා තරාදිය නිසා වතු කම්කරුවන්ට වාසි රැසක් අත්වන බවත් එය ඔවුන් නිවැරදිව තේරුම් ගෙන නොමැති බවත්ය.
මෙම උද්ඝෝෂණය සඳහා ඕල්ටන් තේ වතුයායේ, ඕල්ටන්, කිංකෝරා, නිලාවත්ත හා ඕල්ටන් පහළ යන කොටස් 04 වතු කම්කරුවන් 700 කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

