වත්මන් රජය ජාතික ආරක්ෂාව තහවුරු නොකළ නිසා නැවතත් යුද බිය ඇති වුණා - ගෝඨා
ජාතිවාදී බලවේග වලට යටවුණ ඇමතිවරුන් ඉන්න වත්මන් රජයට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණ බවත් වත්මන් රජය ජාතික ආරක්ෂාව පිළිබඳව තැකීමක් නොකළ නිසා රටේ නැවතත් බෝම්බ පිපිරෙන්න පටන් ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (03) අහුන්ගල්ලේ පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා ,
“වසර 4 ½ ක් තිස්සේ රටේ විද්වතුන්, වෘත්තිකයින් සමග සාකච්ඡා කරලයි, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදල තිබෙන්නේ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවලුයි. මගේ ධූර කාලය තුළදි මේ සැලසුම් සියල්ලම මම ක්‍රියාත්මක කරනවා. අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළා. විවිධ ජනාධිපතිවරුන් යටතේ වසර 30 ක් ඇඳි ගිය ත්‍රස්තවාදය අපි අවසන් කළා. විවිධ ජාතිවාදී බලවේග වලට යටවුණ ඇමතිවරුන් ඉන්න මේ රජයට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණා. වත්මන් රජය ජාතික ආරක්ෂාව පිළිබඳව තැකීමක් නොකල නිසා නැවත රටේ බෝම්බ පිපිරෙන්න පටන් ගත්තා.
පාස්කු ප්‍රහාරයට මාස කිහිපයකට පමණ පෙර සිටම යම් පහර දීමක් සිදුවන බවට වත්මන් රජයට විදේශ බුද්ධි අංශ හරහා පවා දැනුම් දී තිබුණා. එය වලක්වා ගන්න රජය අපොහොසත් වුණා. රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව පිළිබඳව මේ රජයට අවබෝධයක්, අවශ්‍යතාවයක් නැහැ. අපි මේ රටේ රණවිරුවන්ගේ අභිමානය නැවත ඇති කරනවා. රට තුළ කිසිදු ත්‍රස්තවාදයකට හිස ඔසවන්න ඉඩ තියන්නේ නැහැ.
අපේ රජය 2009 දී රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරාට පස්සේ රටේ සංචාරක ව්‍යාපාරයේ විශාල පිබිදීමක් ඇති වුණා. පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටේ සංචාරක ව්‍යාපාරය නැවත කඩා වැටුණා. ඉන්දියාව සිට චීනය දක්වා තිබෙන රටවල් වල සංචාරකයින් විශාල වශයෙන් අපේ රටට ගෙන්වා ගත හැකියි. ඒ සදහා ආගමන විගමන නීතිරීති ලිහිල් කරන්න ඕනෑ. මගේ රජය යටතේ ඒ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය යටතේ සියලු ව්‍යාපාර කඩා වැටුණා. නිෂ්පාදනය වැඩි කරන්න, ව්‍යාපාරිකයින් ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. බදු ගෙවන්න සරල පහසු බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරන්න කටයුතු කරනවා. අපි අභියෝග භාර ගන්න ලෑස්තියි. අපි භාර ගත්ත අභියෝග ජයගෙන පෙන්වා තිබෙනවා.
ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. මම, මට දුන්න වගකීම් අකුරටම ඉෂ්ඨ කර පුද්ගලයෙක්. මගේ රටේ ආදරණීය ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මා කෙරෙහි විශ්වාසය තබා ඔබ, ඔබේ යුතුකම ඉටු කරන්න. මම, මගේ වගකීම ඉටු කරන බව දැඩි විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා” යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Kumar Monday, 04 November 2019 10:45 PM
අමෙරිකාවෙන් ඉගෙනගත් දෙයක් වෙන්න ඇති. ඇමෙරිකාවේ ජනාධිපති දිනුවෙ පිටරටින් පැමිණ ඇමෙරිකාවේ රැකියා ගන්නවා කියල බියගන්වලනේද? මහත්මය සිතන තරම් ලක්වැසියෝ ත්රස්තවාදීන්ට බයනැ.
Reply : 0 0
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Tuesday, 05 November 2019 07:48 AM
71 වසරක මෙරටේ ශාපයට හේතුව රටේ පක්ෂ දෙක ගෙනගිය ප්‍රතිපත්තියක් නොමැති පොරොන්දු දේශපාලනය. මෙය දැන් පිටුදකිමු. අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

