රු. කෝටියකට අධික රන් බිස්කට් සමග පොලිස් නිලධාරීන් 2ක් අත්අඩංගුවට
රුපියල් එක්කෝටි හාරලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 16ක් පොලීසියට නොදන්වා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවරගෙන ඇති බව මන්නාරම් පොලීසිය පවසයි.
පසුගිය ජූලි මස 26 වනදා මන්නාරම පේසාලෙයි මුහුදු තීරයේදී මෙරට සිට ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ අදාළ රන් බිස්කට් 16ක් පිළිබඳ තොරතුරක් පේසාලෙයි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට ලැබී ඇති අතර අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යැයි පවසා පේසාලේ මුහුදු තීරයේදී අදාළ රන් බිස්කට් ළඟ තබාගෙන සිටි පුද්ගලයාගෙන් අත්අඩංගුවට ගන්නා බව පවසා රැගෙන ඇත්තේ එම රන් බිස්කට් තොගය පමණි.
මේ පිළිබඳව අදාළ රන් බිස්කට් ළඟ තබාගෙන සිටි පුද්ගලයා ඊයේ (03දා) මන්නාරම් පොලීසියට පැමිණිළි කර ඇත්තේ තමන් ළඟ තිබූ රන් බිස්කට් 16ක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බුද්ධිඅංශ නිලධාරීන් ලෙසින් පැමිණ රැගෙන ගිය බවටයි.
රන් බිස්කට් තොගය මෙතෙක් පොලීසිට ඉදිරිපත් කිරීම හෝ දැනුම් නොදීම මත අදාළ රන් බිස්කට් තොගය ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීම්වලින් පසුව අදාළ රන් බිස්කට් තොගය ඔවුන් සන්තකයේ තිබී හමු වී ඇත.
එක් රන් බිස්කට්ටුවක පවුම් දොළහමාරක් අඩංගු වන අතර, එක් බිස්කට්ටුවක මිල වශයෙන් රුපියල් ලක්ෂ හයහමාරක් පමණ වෙයි මේ අනුව එම මුළු රන් බිස්කට්හි වටිනාකම රුපියල් ලක්ෂ 104 කි.
රන් බිස්කට් ළඟ තබාගෙන සිටි පුද්ගලයාද මේ වනවිට අත්අඩංගුවට අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාද සමග ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවද පරීක්ෂණ සිදුකරන මන්නාරම් පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

