රු.අසු ලක්ෂයක රත්තරන් රේගුවේදි අත්අඩංගුවට
රුපියල් අසූ ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට්ටුවක් , බිස්කට් පැකැට්ටුවක සඟවා ගෙන නීතිවිරෝධි ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට තැත් කළ ප්‍රංශ ජාතික ගුවන් මගියෙකු ඊයේ (4) දින සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ,රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය .
මොහු 48 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකි .
ඔහු ප්‍රංශයේ සිට ඕමානය වෙත ගොස් , එතැන් සිට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන් ඊයේ දින සවස 3.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
පසුව ඔහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී , ඔහුගේ ගමන් මල්ලේ වූ බිස්කට් පැකැට්ටුවක් තුළ සඟවා ගෙන තිබූ මෙම කිලෝ ග්‍රෑම් 01 ක් බර රත්තරන් බිස්කට්ටුව රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම අත්අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරීවරුන් වන අසේල මධුසංඛ , උවිදු පෙරේරා , සජිත් සිරිවර්ධන සහ සදුන් බටගොඩ යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්යක්ෂ සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ඩී.පී.එම්.ගුණවර්ධන , රේගු අධිකාරීවරුන් වන සේනක ඇරැව්පොළ සහ ජී.එස්.චන්ද්‍රසිරි යන මහත්වරුන් විසින් පවත්වමින් සිටිති .
කටුනායක - ටි.කේ.පි. කපිල


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

