යහපාලන රජයෙන් අපිට කළ චෝදනාවන්ට ඉදිරියේදි අපේ රජයකදි වන්දි ඉල්ලනවා - GL පිරිස්
ඉදිරියේදී පිහිටුවන තම රජයක් යටතේ උඩුයටිකුරුව තිබෙන සමාජය නැවත යථා තත්ත්වයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
අද (19) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල් පීරිස් මහතා මේ බව අවධාරණය කළේය.
2015 වසරේ යහපාලන රජය පිහිටුවන අවස්ථාවේදී වත්මන් රජයේ පාර්ශවකරුවන් විසින් පසුගිය රජයට එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් ඉදිරි රජයක් යටතේ දී බරපතළ වන්දියක් ඉල්ලා සාමාන්‍ය නීතිය යටතේ නඩු පවරන බව ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.
යහපාලන රජය පිහිටුවන අවස්ථාවේදී පසුගිය රජයේ සාමාජිකයින්ට එල්ල කළ බරපතළ චෝදනා සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට වත්මන් රජයේ පාර්ශවකරුවන් සමත් වී නැත.
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන පරිපාලන නිලධාරී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව ගොනු කළ නඩුව තෝරාගත් නඩුවක් වශයෙන් විශේෂ අධිකරණයකදී විභාගයට ගත් නමුත් ඔහුට එල්ල කල චෝදනා විසිහතරෙන්ම නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පියවර ගනු ලැබීය.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාස හයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියද ඔහුට එරෙහිව අවම සාක්ෂියක් හෝ උසාවියට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුවන් සමත් වූයේ නැත.
මෙවැනිම නඩු කටයුතු විශාල සංඛ්‍යාවක් පසුගිය රජයේ සාමාජිකයින්ට එරෙහිව වත්මන් රජය විසින් පවත්වාගෙන යනු ලැබූවද කිසිදු පුද්ගලයෙකු වරදකරුවන් කිරීමට තවමත් සමත් වී නැත.
මෙම තත්ත්වය තුළ අසත්යචෝදනාවලට ලක්වූ පුද්ගලයින්ගේ දරුවන් සහ ඔවුන්ගේ පවුලේ අය බරපතළ පීඩනයකට ලක්ව ඇති බැවින් එම කරුණු අමතක කිරීමට තම පක්ෂය කිසිසේත්ම සූදානම් නොමැති බවත් මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් විශාල වන්දියක් ඉල්ලා ඉදිරියේ දී පිහිටවන තම රජයක් යටතේ නඩු පවරන බවත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Tuesday, 20 August 2019 05:11 AM
හොඳයි වැඩේ. ඔය ඉල්ලන්න හදන සල්ලි යහපාලනේ සල්ලිද? අහිංසක ජනතාවට බදු පිට බදු ගහල එකතු කරගත්ත මහජන මුදල්ද? වන්දි ඉල්ලන්න ඕනේ රනිල්ගේ පෞද්ගලික ධනයෙන්.
Reply : 12 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

