මූලික අවශ්‍යතා ඉටුකළ නොහැකිනම් මගෙන් වැඩක් නෑ - ජනපති
ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකි නම් සංවර්ධන ව්‍යාපෘතිවලින් ඵලක් නොමැති බවත් මූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකිනම් බලාපොරොත්තු රැසක් සහිතව ජනාධිපතිලෙස පත්කර ගත් තමාගෙන්ද රට වැසියාට ඵලක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන් සමග ඊයේ (16දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපතිවරයා මෙහිදී දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කළේය.
“බීමට සහ වගාවන්ට ජලය නොලැබීමෙන් රට පුරා ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටිති. වැව් සහ වාරිමාර්ග පද්ධතිය අඩාල වී තිබේ. ග්‍රාමීය මාර්ග පද්ධතියේ සංවර්ධනය ද වේගවත් විය යුතුය. ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකිනම් සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රයෝජනයක් නැත. එමෙන්ම මූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකිනම් බලාපොරොත්තු රැසක් සහිතව ජනාධිපතිවරයා ලෙස බලයට පත්කර ගත් තමාගෙන් ද රටවැසියාට ඵලක් නැත” රාජපක්ෂ මහතා කියා සිටී.
වසර ගණනාවක් තිස්සේ සංවර්ධන ව්‍යාපෘති ශක්‍යතා වාර්තා සැකසීමේ සිට ඉදිකිරීම් අධීක්ෂණය සහ තීරණ ගැනීම කර ඇත්තේ විදේශීය ඉංජිනේරුවන් විසිනි. ඔවුන් නායකත්වය දුන් ව්‍යාපෘතිවලින් ජනතා අවශ්‍යතා ඉටු වී නැත. විදෙස් රටවලින් පැමිණ ව්‍යාපෘති කිරීමේ සංස්කෘතිය නතර කර ඉදිරි සංවර්ධන වැඩසටහන් දේශීය ඉංජිනේරුවරුන්ට සහ ආයතනවලට පවරන බව ජනාධිපතිවරයා පැවසීය.
ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ දී තරුණයන් කෙරෙහි විශ්වාසය තබන ලදී. ඉදිකිරීම් ක්ෂේත්රයේ සිදු කිරීමට අපේක්ෂිත පෙරළියේදීත් දේශීය ඉංජිනේරුවන් කෙරෙහි විශ්වාසය තබන බව කී ජනාධිපතිවරයා ඉතිහාසයේ ඉතා කීර්තිමත් ඉංජිනේරුවරුන් බිහි වූ යුගය නැවත උදා කළ යුතු බව සඳහන් කළේය.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ රජයේ වැඩපොළ පත්ව ඇති තත්වය පිළිබඳව තමා කණගාටුවන බව සඳහන් කළ ජනාධිපතිවරයා මේ ආයතන පෙර තිබූ තත්ත්වයට වඩා ඉදිරියෙන් තැබීමේ වගකීම ද ඉංජිනේරුවරුන්ට පැවරීය.
තමා රට භාර ගන්නා විට තිබූ තත්ත්වයට වඩා කොවිඩ් අර්බුදය හමුවේ අභියෝග දස ගුණයකින් වැඩි වී ඇතැයි පැවසූ ජනාධිපතිවරයා වඩාත් ශක්තිමත්ව ඊට මුහුණ දෙන බව අවධාරණය කළේය.
අඩු හා මැදි ආදායම්ලාභී පුද්ගලයින්ගේ නිවාස ප්රශ්නය විසඳීමේ දී දේශීය ඉදිකිරීම් සමාගම්වල සහ ඉංජිනේරුවන්ගේ දායකත්වයේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මුල් ආකෘතියට හානි නොවන අයුරින් වැව් සහ වාරිමාර්ග පද්ධතිය පිළිසකර කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් කෙරිණ.
ආර්ථිකය ගොඩනැගීම යනු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි. ඒ සඳහා වූ සංවර්ධන සැලැස්මක් වෙත ගමන් කළයුතු බව ජනාධිපතිවරයා පැවැසීය.
popular news
-
Prasad Friday, 17 July 2020 03:44 PM
Great!
Reply : 0 11
samson de silva Sunday, 19 July 2020 09:19 AM
"Thamaagenda ratawasiyaata palak natha" janaadipathi kiyayi. Sahathika aththa. 2019 november 16 dinata kalin oya adahasa piligaththaanam sri lankaawata siduweegena yana wipaththiya walakwaaganna thibunaa.
Reply : 32 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

