මුල් මාස 9 දී පෞද්ගලික අංශයට රු. ට්‍රිලියන 2.1ක ණය දීලා
ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය, උද්ධමන ඉලක්කකරණය, පෞද්ගලික අංශයේ ණය වර්ධනය, ආර්ථික වර්ධන විභවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා පාර්ලිමේන්තුවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80(2)(අ) වගන්තියේ විධිවිධාන අනුව, මහ බැංකුවේ කාර්යභාරයන් පිළිබඳව කරුණු දැක්වීම සඳහා මහ බැංකු අධිපතිවරයා, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයන් සහ නියෝජ්‍ය අධිපතිවරුන් සෑම මාස හතරකට වරක් පාර්ලිමේන්තුව හෝ එහි කමිටුවක් හමුවේ හෝ පෙනී සිටිය යුතුය. එමෙන්ම, 26(5) වගන්තිය ප්‍රකාරව, අඛන්ඩව කාර්තු දෙකක් නියමිත උද්ධමන ඉලක්ක සපුරාලීමට මහ බැංකුව අපොහොසත් වුවහොත්, එ පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ.
මෙහිදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් කර ගත් ප්‍රධාන උද්ධමන ඉලක්කය 5%ක් ලෙස පවත්වාගෙන යාම සහ එම ඉලක්කය ඉදිරි වසර තුන සඳහා ද පවත්වාගෙන යාමට ගෙන ඇති තීරණය පිළිබඳව මහ බැංකු නිලධාරීහු පැහැදිලි කළහ. උද්ධමනය ඉලක්කගත පරාසයේ පහළ සීමාව වන 3%ට වඩා පහළ මට්ටමක පැවති අවස්ථා හේතුවෙන් පාර්ලිමේන්තුවට විශේෂ වාර්තා හතක් ඉදිරිපත් කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.
2026 වසරේ මුල් මාස නවය තුළ පෞද්ගලික අංශය වෙත ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.1ක් වන අතර, එය 2025 වසරේ අනුරූප කාලසීමාවේ පැවති රුපියල් ට්‍රිලියන 1.9ක ප්‍රමාණයට වඩා ඉහළ අගයක් බව ද ප්‍රකාශ විය. ඉන් 74%ක් පමණ බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් ලබා දී තිබේ.
කෙසේ වෙතත්, කෙටි කාලීන ණය අනුපාතය 42% සිට 47% දක්වා ඉහළ යාමත්, දිගුකාලීන ණය අනුපාතය 35% සිට 29% දක්වා පහළ යාමත් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. බැංකු ණය ප්‍රාග්ධන සම්පාදනය, නව ආයෝජන සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් ලෙස යොදාගන්නේද යන්න පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. තවද, උකස් ණය සහ වාහන ණය ඇතුළු ණය වර්ගවල වර්ධනය පිළිබඳව ද කරුණු විමසා බැලිණි.
ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධන විභවය සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් වූ අතර, තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්තියට අමතරව වෙළඳ, කම්කරු හා ඉඩම් ක්ෂේත්රවල ප්‍රතිසංස්කරණ, මානව ප්‍රාග්ධන සංවර්ධනය, ඵලදායිතාව ඉහළ නැංවීම සහ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.
මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් කරුණු දක්වමින්, බැංකු අංශයේ තුන්වන අදියරේ අක්‍රීය ණය අනුපාතය 9.7% සිට 8.8% දක්වා පහළ ගොස් ඇති බවත්, බැංකු පද්ධතියේ ප්‍රාග්ධන හා ද්‍රවශීලතා මට්ටම් නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවතින බවත් පැහැදිලි කෙරිණි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.