මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාර පුද බිම දෙකඩ කිරීමේ උත්සාහයක් ඇති බවටත් විවිධ පාර්ශවයන්ගෙන් සිදු කෙරෙන බලපෑම් වහාම නවත්වන්නැයි ඉල්ලමින් අද (05) දින විහාරය ඉදිරිපිටදී වැසියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
වැලිඔය ඇතුළු ප්‍රදේශ කිහිපයක බෞද්ධ බැතිමතුන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය පැවැත්වූ අතර එයට ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක්ද සහභාගී විය.
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරය ඇතුළු පුද බිම පුරාවිද්‍යා බිමක් හා පුරාණ විහාර ප්‍රදේශයක් වශයෙන් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයා විසින් මුලතිව් අධිකරණයේදීම කරුණු ඇතිව පෙන්වා දී ඇති අවස්ථාවක මේ වනවිට ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමිය දෙකඩ කිරීමේ උත්සාහයක කිසියම් පිරිසක් නිරත වන බැවින් එය වහාම නතර කරන ලෙසට ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්වූහ.
උද්ඝෝෂණයේ නිරත වූවන් වැඩිදුරටත් පැවසුවේ පසුගිය දින කිහිපය පුරාම ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි කියාගත් පිරිසක්ද පැමිණ ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පුද බිම දෙකඩ කොට එක් පැත්තක් පන්සල වශයෙන්ද අනෙක් පැත්ත කෝවිලක් වශයෙන් වෙන් කරන ලෙසට දැනුම් දුන් බවටත් ඊට අමතරව විවිධ දේශපාලන පිරිස් ඇතුළු පාර්ශවයන් විසින් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමිය වෙන් කිරීමට දැඩි උත්සාහයක නිරත වන බවටද පැවසූහ.
එමෙන්ම රටේ සෑම පන්සල් භූමියම විහාරයේ දේවාලයක් ඇති හෙයින් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේද ඇත්තේ දේවාලයක් හැරෙන්නට කෝවිලක් නොවන බවටත් එය වරදවා වටහා ගැනීමෙන් මෙම ගැටලු ඇති වී තිබෙන හෙයින් මේ පිළිබඳව ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් අවධානය යොමු කොට ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙසටද උද්ඝෝෂකයින් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.