අපට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිෂ්පානය කරලා ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය යහපත් තත්ත්වයට පත් කිරිම බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍යවේදින් විසින් නැගූ පැනයකට පිළිතුරු සපයමින් අමාත්‍ය කරුණානායක මහතා මෙසේ පැවසීය.
මේකට තාවකාලික, මධ්‍යම හා දීර්ඝකාලීන වශයෙන් විසදුම් තිබෙනවා. මේ සඳහා වන මුල්ම පියවර තමයි අපි මේ කරලා තියෙන්නේ. තුර්කියේ මේ බාජ් එක තුළින්. සමහරු අහනවා මීට වඩා අඩු මිලකට නැද්ද කියලා. මම කියන්න කැමතියි කාටහරි පුළුවන්නම් මීට වඩා අවම මිලකට විදුලිය ලබාගන්න, ඒක අපට පෙන්නලා දෙන්න.
අපි උත්සාහ කළේ හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදු නොකර ඉන්න. නමුත් ඇති වූ විදුලි ඌනතාව හේතුවෙන් එය නොකර බැරි වුණා. දැනට තිබෙන බලාගාරවල නිෂ්පාදන වියදම රු. 30.00ට වැඩියි. නමුත් හදිසි විදුලිය මිලදී ගන්න ටෙන්ඩර් කැඳවීමෙදි මිල නියම වෙලා තිබුණේ රු. 28.00 , රු. 30.00 වගේ. වසරකට ටෙන්ටර් කැඳවුවොත් මිල වැඩිවන නිසා අපි මාස 06 කට ගන්න තීරණය කළා.
මෙම හදිසි විදුලිය මිලදී ගැනිම පිළිබදව ජනතාව අතර නොයෙක් ආකාරයේ මත ඇති වුණා. මේ තුළින් විශාල මුදල් නාස්තියක් සිදුවන බවට මත පළවුණා. ඒ නිසා මෙම මිලදී ගැනීම් අතරතුරදීම, මෙම තත්ත්වය වෙනස් කරන්න හැකි ආකාරයේ විකල්ප මාර්ග ඉදිරිපත් කරන්න කියලා අපි ජනතාව දැනුවත් කළා. ඒ අවස්ථාවේ තුර්කි රජයෙන් යෝජනාවක් ඉදිරිපත් කළා. රු. 24.98 ක් තමයි ඔවුන්ගේ මිල වුනේ. සියළු බදුත් සමඟ මෙහි මිල වන්නේ රු. 26.20 ක් පමණයි. ඒ අනුව අපි මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා, දැනට අපේ බලාගාර වලට වඩා අවම මිලක් සහිත නිසා කැබිනට් අනුමැතිය ලැබුණා.
කුමන ආකාරයකින් මේ දේවල් සිද්ධ වුණත්, කිසිසේත්ම ගෘහ විදුලි ඒකකයක මිල වැඩිවන්න දෙන්නේ නැහැ. ඒ පදනම අපි ආරක්ෂා කරනවා. ඒ වගේම කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවකට යන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් අපි විදුලිය නිෂ්පාදනය කල යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
