ජනාධිපතිවරයා බලයට ආපු දින සිට හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් බොහෝ ආයතනවලට පත් කළ බවත්, එමගින් රටක් පාලනය කළ නොහැකි බව ඔප්පු වී ඇති බැවින් මිලිටරි මානසිකත්වයෙන් ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ අද (14දා) අනුරාධපුරයේදී ක්‍රියාත්මක වූ %ගමෙන් පටන් ගමු^ වැඩසටහනට එක්වෙමින් පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,
&ජනාධිපති බලයට ආපු දවසේ සිට හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් බොහෝ ආයතනවලට පත් කළා. වරාය, සෞඛ්‍ය, රේගුව, ධීවර සංස්ථාව, පාරිභෝගික අධිකාරිය ආදී බොහෝ ආයතනවලට පත්වීම් සිදු කලා. මේ වන විට කිසි දෙයක් සිද්ධ වෙලා නැහැ. ජනාධිපති හිතනවා නම් විශ්‍රාමික හමුදා නිලධාරීන් දාලා රටක් පාලනය කරන්න පුළුවන් කියලා දැන් හොඳින් ඔප්පු වෙලා තියෙනවා එය අසාර්ථක බව. ඒ නිසා මිලිටරි මානසිකත්වයෙන් ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි.
ආණ්ඩුව බලයට පත්වෙලා මාස දාසයක් ගත වන විට රට ආර්ථික වශයෙන් විශාල ප්‍රපාතයකට ඇද වැටී තිබෙනවා. වංචා දූෂණවලින් පිරිණු පාලනයක් බවට පත්වෙලා තිබෙනවා. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කරමින් තිබෙනවා. රටේ නීතිය විනය මුළුමනින්ම බිඳ වැටිලා. රටේ අර්බුද රැසක් නිර්මාණය කර තිබෙනවා.
මේ අර්බුද ඕපපාතිකව නිර්මාණය වූ එකක් නොවෙයි. පසුගිය දශක ගණනාවක් තිස්සේ මේ පාලක පක්ෂ දෙක අපේ රටේ අනුගමනය කළ ප්‍රධාන ප්‍රතිපත්ති හේතු කර ගෙන තමයි මේ අර්බුද නිර්මාණය වෙලා තිබෙන්නේ. රටේ හැම තැනම ජනතාවගේ අද ඉල්ලීමක් තිබෙනවා. ඒ මෙය වෙනස් කිරීමට එකතු විය යුතු බවට.
ආණ්ඩුවට මේ අර්බුදයෙන් ගොඩ ඒමට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. මේ වසර මුලදී කිව්වා දෙසැම්බර් වන විට මේ තත්ත්වය සමනය වන බව. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ ඊට වඩා අර්බුදය තීව්ර වෙලා තිබෙන එකයි.
ඒ වගේම කබ්රාල් රට ගොඩ ගන්න මාස හයක වැඩපිළිවෙළක් නිර්මාණය කළා. ඒක ලප් තැනම ලොප් වෙලා අසාර්ථක වෙලා ගිහින්.
පසුව මේ අය කිව්වා බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වුණාට පස්සේ රට කිරියෙන් පැණියෙන් උතුරා මෙම තත්ත්වයෙන් ගොඩ එන බව. මේ අය මෙවැනි සන්දර්ශන වැඩසටහන් තියෙනවා හැරුණු විට, සැබැවින්ම මේ අර්බුදයේ දිග, පළල ගැඹුර තේරුම් අරන් එය වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ.
කෙරවලපිටිය බලාගාරයට ගෑස් සපයන නල පද්ධතියත්, ඒකට ගෑස් ගබඩා කරන ගබඩා පද්ධතියත්, ඒ වගේම ගෑස් සැපයීමේ බලයත් ඇමෙරිකානු සමාගමකට ලබාදීම සඳහා ඇමෙරිකානු පුරවැසියෙකු වූ බැසිල් රාජපක්ෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ දවසේ සිට එහි තිබෙන අනතුර පිළිබඳ, අපේ රටේ ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට සිදු වන විශාල බලපෑම ගැන අපි කරුණු ඉදිරිපත් කළා. කැබිනට් ඇමතිවරු බොහෝ අය කියන්න පටන් ගත්තා එම පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේ අනුමත නොවූ බව.
පසුගියදා අපි දිගින් දිගටම තොරතුරු දැනගැනීමේ පනතින් මේ ගිවිසුම ඉල්ලා සිටියා. පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී මම මේ ගිවිසුම ඉල්ලා සිටියා. විශේෂයෙන්ම ලොකුගේ විදුලි බල ඇමතිගෙන් මේ ගිවිසුම ඉල්ලපු දවස සිට එළඹෙන සතියේ ලබාදෙනවා කිය කිය එය ලබා දුන්නේ නැහැ.
ජාතික සම්පත් ආරක්ෂා කර ගත යුතු යැයි සිතන බොහෝ නිලධාරීන් අපේ රටේ ඉන්නවා. ඔවුන් සැබැවින්ම මේ ගිවිසුම හෙළිදරව් කරන්න අපට සහාය ලබාදී තිබෙනවා. අද අපි ඒ ගිවිසුම හෙළි කර තිබෙනවා. රටේ ජනතාවට හොරෙන් කරන්න ගිය ව්‍යායාමය අද පරාජය කර තිබෙනවා. ඉදිරියේදී මේ ගිවිසුම පරාජය කරන්න නඩු ඉදිරිපත් කර තිබෙනවා. 16,17 දෙදින තුළ මේ නඩු අධිකරණයේ විභාගය වීමට නියමිතයි. මීට එරෙහිව වෘත්තිය සමිති ව්‍යාපාර විශේෂ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම ජනාධිපති පාර්ලිමේන්තුව කල් තැබුවා. විශේෂයෙන්ම ඔබ දන්නවා අයවැය ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව පක්ෂ නායකයෝ රැස්වෙලා කථානායකගේ මූලිකත්වයෙන් එළඹෙන ජනවාරි 11වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව තිබුණා. එසේ තිබියදී ජනාධිපතිවරයා හදිසියේ පාර්ලිමේන්තුව කල් තැබුවා. මේ පාර්ලිමේන්තුව කල් තැබීමේදී විශේෂයෙන් සිදු වන දේ තමයි කාරක සභා කිහිපයක් හැර, කාරක සභා රාශියක් අහෝසි වෙන එක.
කෝපා කාරක සභාව, ඉදිරිපත් කර තිබෙන පනත්, බිල්, යෝජනා මේ සියල්ල අහෝසි වෙනවා. ඒ නිසා ජනාධිපති රටට හෙළි කරන්න ඕන කවර අරමුණකින් කුමක් අපේක්ෂාවෙන්ද මේ පාර්ලිමේන්තුව කල් තැබුවේ කියලා. මොකද ඒක ජනාධිපතිවරයාගේ වගකීම.
විශේෂයෙන් ජනාධිපතිවරයාට මේකෙන් ලැබෙන එකම අවස්ථාව තමයි පාර්ලිමේන්තුව අමතන්න පුළුවන් වීම. ඒ නිසා ජනාධිපතිවරයාගේ ලාභ, සිඟිති විනෝදය සඳහා පාර්ලිමේන්තුව කල් තැබුවාද කියලා සැකයක් දැන් මතු වෙලා තිබෙනවා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ කථානායක පුටුවෙ වාඩි වෙලා පාර්ලිමේන්තුව අමතන්න පුළුවන් එච්චරයි මේකෙන් ඇතිවන එකම ප්‍රතිඵලය* යනුවෙන් පැවසීය.