සැමට පිළිගත හැකි සාධාරණ පිළිතුරක් තිබියදී පවා කුරුන්දි ගැටලුව සදහා විසඳුම් නොදී කල් මරමින් සිටින ක්‍රමවේදයක් ජනාධිපතිවරයා විසින් අනුගමනය කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (2023.08.22) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් එහිදී මෙසේ අදහස් දැක්වීය.
"පසුගිය අගෝස්තු 18දා කුරුන්දි විහාරයේ එකම මොහොතේ බෞද්ධයන් විසින් සෙත් පිරිත් පිංකමක් සහ හින්දුන් විසින් පොංගල් පූජාවක් පැවැත්වීමෙන් රට ගිනි ගැනීමේ අවදානමක් මතු වුණා. ප්‍රෙදේශයේ දෙමළ ජනතාව ගජේන්ද්‍රන් පොන්නම්බලන්ගේ මේ නාඩගමට අකමැති වූ නිසා යාපනයේ සිට දෙමළ ජනතාව ආනයනය කිරීමට පොන්නම්බලන් මන්ත්‍රිවරයාට සිදුවුනා.
ජූනි 21 දින අපි කුරුන්දි විහාරයට සංචාරයක් ගියා. එහි දී අපි පූජනීය ගල්ගමුවේ ශාන්තබෝධි හාමුදුරුවන් එක්ක මෙන්ම ප්‍රදේශවාසි ජනතාව, වන සංරක්ෂණ නිලධාරින් සහ පුරාවිද්‍යා නිලධාරින් සමග සාකච්ඡා කලා. දෙමළ දේශපාලකයන් අපට විරුද්ධව උද්ඝෝෂණයක් සංවිධානය කළත් එයට සහභාගී වූයේ 26 දෙනයි. බහුතර දෙමළ ජනතාව අපව පිළි අරගෙන අපිට කිරිබත් වලින් සංග්‍රහ කරලා සාකච්ඡා කරන්න කටයුතු කළේ.
දැනට කුරුන්දි විහාරයට අයත් ප්‍රදේශය වශයෙන් පුරාවිද්‍යා රක්ෂිතය ලෙස ගැසට් මගින් ප්‍රසිද්ධ කර තිබෙන්නේ අක්කර 79ක් පමණයි. නමුත් පුරාවස්තු සොයා ගැනීම නිසා පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කිරීමට තවත් අක්කර 229ක් හඳුනා ගෙන තිබෙනවා. ඒ තුල කුඹුරු කිසිවක් නෑ. මේ සමස්ත පුරාවිද්‍යා රක්ෂිතයම තිබෙන්නේ චෝලනාග වන රක්ෂිතය මැද. නමුත් වන රක්ෂිතයේ මැද කුඹුරු බවට පරිවර්තනය කරපු ඉඩම් මේ පුරාවිද්‍යා රක්ෂිතයට අයිති වෙන්නේ නෑ. ඒ නිසා ගොවි ජනතාවගේ කුඹුරු පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කරනවා කියලා දෙමළ දේශපාලකයන් නගන චෝදනාව පදනමක් නැහැ. කොළඹ සීතල කාමර වල සිට තීන්දු ගන්න ජනාධිපතිතුමන් එය විශ්වාස කළාට පොළොවට ගිහිල්ලා බලපු අපි නම් විශ්වාස කරන්නේ නැහැ.
පුරාවිද්‍යා රක්ෂිතයේ මායිම ලකුණු කරන තුරු ප්‍රදේශවාසින් කුඹුුරු කරන එක වන රක්ෂණ නිලධාරින් විසින් නවත්වා තිබෙනවා. මොකද දැනටමත් පුරාවස්තු වලට දැවැන්ත හානියක් වෙලා තිබෙන නිසා. අනුරාධපුර යුගයේ පොකුණක් වැවක් බවට පත් කරලා. යකඩ උණු කරපු තැනක් විධියට සාක්ෂි ලැබුණු ස්ථානය වැව් බැම්මට යට කරලා.
පුරාවිද්‍යා නිලධාරින් විසින් මායිම් ගල් දාලා පුරාවිද්‍යා රක්ෂිතයේ මායිම ලකුණු කලේ ගමේ ජනතාවගේ සහයෝගයෙන්. මෑතක දී එළි කළ ප්‍රදේශය රක්ෂිතයට ඇතුලත් බව ජනතාව දැන ගත්තත් ඒකට විරෝධයක් ආවේ නෑ. නමුත් ප්‍රදේශයේ දේශපාලකයින් මේක දැන ගත්තාට පස්සේ තමයි ප්‍රදේශවාසින්ගෙන් සුළු පිරිසක් උසි ගන්වා ගෙන මේ වැඩේට විරුද්ධව උද්ඝෝෂණ කලේ.
මේ අක්කර 229 මැනලා දෙන්න කියලා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් විසින් මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය ලේකම්ගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. නමුත් දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන්ගේ විරෝධය නිසා මේ මැනුම් නියෝගය තවම නිකුත් කරලා නෑ. නමුත් මේ මැනුම් නියෝගය නිකුත් කලා නම් පුරාවිද්‍යා රක්ෂිතය මැන අවසන් වෙලා නැවත කුඹුරු කරන්න ජනතාවට අවස්ථාව ලැබෙනවා.
දැන් කුඹුරු කිරීමේ අවස්ථාව ප්‍රදේශවාසින්ට අහිමි වෙලා තිබෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොවේ, දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන්ගේ විරෝධය නිසා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් තමයි මේ මැනුම් නියෝගය නතර කරගෙන ඉන්නෙ. දෙමළ නිජබිම කියන එකේ හරි මැද නැත්නම් හදවත වන මුලතිව් ප්‍රදේශයේ දැවැන්ත සිංහල ශිෂ්ඨාචාරයක නටබුන් මතුවීම ඊනියා දෙමළ නිජබිම් සංකල්පය නිරුවත් කිරීමක් කියලා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් තේරුම් අරන් තිබෙනවා.
අහිංසක දෙමළ ජනතාවට නිජබිම් ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ට තිබෙන්නේ කුඹුරු කිරීමේ ප්‍රශ්නයක්. පුරාවිද්‍යා රක්ෂිතය මනින වැඩේට ප්‍රදේශවාසි දෙමළ ජනතාව එකඟයි. මනින දාට ප්‍රශ්න ඇති නොවන බවට වග බලා ගන්න මම එතැනට එනවා ඔබතුමාත් එන්න කියලා මම ආරාධනා කළා. චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රිතුමා ඒකටත් එකඟ වුණා.
මම මේ පිළිබඳ අගමැතිතුමා සමගත් වන සම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය සමගත් සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා සමගත් කතා කළා. ඒ සියළුම දෙනා මේ විසඳුම ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න එකඟ වුණා. ඒ විතරක් නොවේ ඒ අවස්ථාවට විදුර ඇමතිතුමාත් සහභාගි වෙන්නම් කිව්වා. ඒ අනුව දෙමළ සංධානයේ මන්ත්‍රිවරු ද ඇතුළුව මේ සියළුම පාර්ශවකරුවන් කැඳවලා සාකච්ඡාවක් පවත්වන මෙන් මම අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කලා. අගමැතිතුමා කිව්වේ මේ ප්‍රශ්නයට ජනාධිපතිතුමා මැදිහත් වුණු නිසා ජනාධිපතිතුමාට ඔබතුමාගේ මතය කියන්න. ජනාධිපතිතුමා උපදෙස් දුන්නොත් මම රැස්වීම කැඳවන්නම් කියලා.
මම ජනාධිපතිතුමාට කතා කළාම එතුමා කිව්වා අගමැතිතුමා සමග කතා කරලා මේ ප්රශ්නය විසඳන්න කියලා තමන්ගේ ලේකම්වරයාට උපදෙස් දෙන්නම් කියලා. මම දෙපාරක්ම ජනාධිපති ලේකම්තුමාට කතා කළා. නමුත් ජනාධිපතිතුමාගෙන් උපදෙස් ලැබිලා නෑ. දෙමළ ජාතික සන්ධානයේ ඊනියා නිජබිම් සංකල්පය ස්ථාපිත කිරීමේ යටි අරමුණ නිසා ජනාධිපතිවරයා සිතාමතාම කුරුන්දි ප්රශ්නය විසඳීම කල් මරමින් ඉන්නවා. උතුරේ අහිංසක ජනතාවට සිය කුඹුරු යළි කිරීමට අවස්ථාව අහිමි කර ඇත්තේ වෙන කවුරුවත් නොවෙයි ජනාධිපතිවරයායි.
ඉතාම සරලව විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් සමස්ත රටම ගිනි ගොඩක් ලේවිලක් බවට පත්වෙලා ජාතිවාදී ප්‍රශ්නයක් ඔඩු දුවන තුරු ජනාධිපතිවරයා නිහඬව බලා සිටින්නේ කුමන යටි අරමුණක් ඉටු කරගැනීමටද කියලා අපි ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරනවා.