මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි දහ අටක් අද (30දා) දිනය වනවිට තම සංවිධානයට ලැබී ඇතැයි පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මීට අමතරව ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණෙන පළමු විදේශීය නියෝජිත කණ්ඩායම් අද (30දා) ලංකාවට පැමිණි බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
දැනට ලැබී ඇති පැමිණිලිවලට අනුව රාජ්ය ආයතනවලට පත්වීම ලබාදීම අල්ලස් වශයෙන් ජනතාවට භාණ්ඩ බෙදාදීම හා ඉඩම් බෙදාදීම හා පාසල් තුළ මැතිවරණ ප්රචාරක කටයුතු කිරීම පිළිබඳ පැමිණිලි ලැබී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
අදාළ පැමිණිලි බලධාරීන් වෙත යොමුකර තිබෙන බවත්, ආසියානු මැතිවරණ ජාලය නියෝජනය කරමින් මෙරටට පැමිණි විදේශීය නියෝජිතයන් දසදෙනෙකු හෙට (01දා) සිට අදාළ රාජකාරි ආරම්භ කරන බවද ඒ මහතා සඳහන් කළේය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 0112 558 570, 0112 558 571 යන දුරකථන අංකවලට හෝ 0112 558 572 දරණ ෆැක්ස් අංකයට යොමුකළ හැකි බවද හෙතෙම කියා සිටියේය.
