එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා විසින් ඉදිකළ මඩකලපු විශ්වවිද්‍යාලය පිළිබඳ කරුණු සොයාබැලීමට කොමිසමක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
සුළු ජාතීන් නොමැතිව මැතිවරණය ජයගත හැකි බව ජනාධිපතිවරණයේදී පෙන්නුම් කළ බවත්, රට පුරා ස්වාමීන් වහන්සේලා ඊට විශාල දායකත්වයක් ලබාදුන් බවත් පැවසූ රතන හිමියෝ, බෞද්ධ ජනයා විශාල බලවේගයක් වී මෙරට වෙනස් කළ බවත් සඳහන් කළහ.
රාජගිරිය සදහම් සෙවණේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (28දා) දිනයේදී රතන හිමියෝ මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රතන හිමියෝ,
“සාෆි ශහබ්දීන්ගේ නඩුව සම්බන්ධව පරීක්ෂණ පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා හා තිසේරා පක්ෂක්ග්රාහීව කටයුතු කරන බව අපි මුල ඉදන්ම කිව්වා.
ඒ ගැන අපි පොලිස් කොමිසමට පැමිණිලි කළා. අපි දැනුත් විශ්වාස කරනවා සාෆි සහබ්දීන් එම වරද සිදු කළ බව. අපි විශ්වාස කරනවා දේශපාලන මැදිහත්වීමකින් තොරව පරීක්ෂණ පවත්වලා, මේ ආණ්ඩුව එම වගකීම හරියට ඉටු කරයි කියලා.
හිස්බුල්ලා මහතා මඩකලපුවේ ඇති කරපු විශ්වවිද්‍යාලය ගැන අපි කරුණු රැසක් අනාවරණය කරලා තියෙනවා. ඒ ගැන සොයා බලන්න කොමිසමක් පත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපට මාධ්‍ය සාකච්ඡා තියන්න, පාගමන් යන්න, මඩකලපු විශ්වවිද්‍යාලයට කඩා වදින්න ඕන නෑ.
අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව ඒ සියලු කටයුතු හරියට ඉටු කරයි කියලා. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පනත් 03ක් ඉදිරිපත් කරලා තියෙනවා. එයින් පවතින විවාහ පනත් 03ක සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. එය නුදුරේදීම නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි” යනුවෙන්ද පැවසූහ.
