මඩකලපුවේ 8 දෙනෙකුට මරණ දඬුවම
මඩකලපුව, එරාවුර් පොලිස් වසමේදී 2008 වසරේදී දේවදාස් සුරේෂ්කුමාර් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 9 දෙනාගෙන් 8 දෙනෙකුට මරණ දඬුවම නියම කරමින් මඩකලපුව මහාධිකරණය අද (19) තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ. ප්රභාකරන් මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර, නඩුවේ 9 වන විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කර ඇත.
පසුගිය 2008 වසරේ ජුනි මස 19 වන දින දේවදාස් සුරේෂ්කුමාර් නමැත්තා එවකට චෙන්කලඩි කඳවුරට සම්බන්ධ ඊ.පී.ඩී.පී. (EPDP) සාමාජිකයින් පිරිසක් විසින් වාහනයකින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබුණි.
ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ මළ සිරුර වළ දමා, ඒ මත කෙසෙල් පැළයක් සිටුවා තිබූ බව ද වාර්තා විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලීසිය විසින් ඊ.පී.ඩී.පී. සංවිධානයට අයත් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.
පසුව, 2016 වසරේදී අදාළ නඩුව විභාගය සඳහා මහාධිකරණය වෙත යොමු කෙරුණු අතර, දීර්ඝ කාලයක් පුරා නඩු විභාගය පැවැත්විණි. පැහැරගැනීම සඳහා යොදාගත් බව කියන වාහනය ද පොලීසිය විසින් සොයාගෙන තිබුණි.
මෙම නඩුවේදී රවී හෙවත් ධර්මලිංගම් ඉලමාරන්, වීරක්කුට්ටි සේකර්, විජේ හෙවත් මහේන්ද්‍රරාජා විනෝරාජ්, ජෙකා හෙවත් යෝගරාසා ජෙයකුමාර්, ශ්‍රී හෙවත් ශ්‍රීස්කන්දරාජා නාගනාදන්, සිවා හෙවත් සොක්කලිංගම් නාගරාසා, අරුල් හෙවත් අරුණාචලම් රාමචන්ද්‍රන් සහ විජී හෙවත් ගෝවින්දන් ප්‍රදීපන් යන අට දෙනා වරදකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීමේ පළමු චෝදනාව යටතේ මාස හයක ලිහිල් සිරදඬුවමක් ද, මනුෂ්‍ය ඝාතනයට අදාළ සෙසු චෝදනා යටතේ මරණ දඬුවම ද අධිකරණය විසින් නියම කරනු ලැබීය.තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී රජයේ නීතිඥවරුන් වන එස්. අනුෂාංගන් සහ ටී. දර්ශිකා යන මහත්ම මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.තීන්දුවෙන් අනතුරුව මරණ දඬුවම නියම වූ අට දෙනා මඩකලපුව බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබූහ.
ජවුෆර් ඛාන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
