ශ්රී ලංකාවට අයත් වයඹ මුහුදු සීමාවේදී බීඩීකොළ කිලෝග්රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු සහ ඉන්දිය යාත්රාවක් ඊයේ (29) දින උදෑසන නාවික හමුදා භාරයට ගෙන ඇත.
ශ්රී ලංකා නාවික හමුදාවට අයත් ශ්රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව මුර සංචාරයේ යෙදී සිටි අතරතුර ඉන්දියානු මුහුදු සීමාවේ සිට අන්තර්ජාතික මුහුදු සීමාව හරහා ශ්රී ලංකාවට අයත් මුහුදු සීමාව වෙත යාත්රා කරමින් තිබූ සැක කටයුතු යාත්රාවක් නිරීක්ෂණය කර ඇති අතර, ඒ අනුව, ‘සාගර’ නෞකාව, මුර සංචාරයේ යෙදි සිටි ශ්රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ ද සහාය ඇතිව තලවිල දේවාස්ථානයේ සිට නාවික සැතපුම් 22 කට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී එම යාත්රාව පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී පාර්සල් 74 ක අසුරා සඟවා තිබූ මෙම බීඩී කොළ තොගය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇති අතර, අනතුරුව එම යාත්රාව සමඟ පුද්ගලයින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
නාවික හමුදා භාරයට ගත් බීඩීකොළ තොගය, යාත්රාව සහ පුද්ගලයින් කල්පිටිය පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ‘විජය’ ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අදාල බීඩීකොළ තොගය කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දිමට කටයුතු කරන ලදී. තවද, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් සහ යාත්රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.
මෙවැනි නීතිවිරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්රියාත්මක කරනු ලබයි.
