ජනාධිපතිවරණ පනතට පටහැනි වන ආකාරයට 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කල බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩු විභාගය ලබන වසරේ මාර්තු 30 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (28දා) නියම කළේය.
මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබාගැනීමට නොහැකි වු බව කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට මාස තුනක කාලයකට ඇමරිකාවට යෑමටද අවසර දුන්නේය.
මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරූ කරන්නැයි ඉල්ලා විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම මීට පෙර අවස්ථාවකදී ප්‍රතික්ෂේප කිරීම හේතූවෙන් මෙම නඩුව අද (28) සිට දින 04ක කාලයක් පුරා විභාග කිරීමට නියමිතව තිබිණි
