බදුල්ල ,කයිලගොඩ විහාරස්ථානයට නුදුරු , දෙමහල් නිවසක උඩුමහලේදි අද පෙ.ව. 9.30 පමණ (46) හැවිරිදි කාන්තාවක් පිහියකින් කපා ඝාතනය කර ඇතැයි බදුල්ල පොලීසිය පවසයි .
මෙසේ ඝාතනය කර ඇත්තේ අංගප්පන් ගෞරි නැමති දෙදරු මවකි .
සිය නිවසේ මුළුතැන්ගෙය ඉදිරියේ ඇති කොරිඩෝවේ බරපතළ කැපුම් තුවාල සහිතව ලේ විලක් මැද වැටී සිටි ඇය අසල්වැසියන් හා පොලීසිය විසින් බදුල්ල මහරෝහලට රැගෙන ගොස් තිබේ .
ඒ වන විටත් ඇය මියගොස් සිටි බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
මෙම කාන්තාව කෑගසන හඬ ඇසී පහත මහලේ සිටි කාන්තාවක් ඒ දෙසට දිවගියත් ඒ වනවිටත් අපරාධකරු පළායමින් සිටිනු දැක ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කරයි.
මෙම කාන්තාවගේ සැමියා බදුල්ල නගරයේ වෙළඳසැල් හිමිකරුවෙකි. වැඩිමහල් පුතා විදේශ රටක ඉගෙනුම ලබන අතර අනෙක් පුතා බදුල්ලේ ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලබයි.
සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මෙම කාන්තාව පමණක් බවද විමර්ශන වලදි අනාවරණය වි තිබේ .
පළාගිය සැකකරු සොයා බදුල්ල පොලීසිය අද සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය .
බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත , සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර හා බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක මංගල ජයතිලක මහතා ඇතුලු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.
බදුල්ලේ - පාලිත ආරියවංශ
