ප්‍රමිතියෙන් තොරව පවත්වාගෙන යන පාසල් ආපන ශාලා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
පාසල් දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය සම්බන්ධයෙන් මෑතකාලීන ව සිදුකළ අධ්‍යයන තුළින් අනාවරණය වී ඇත්තේ ඔවුන් විවිධ පෝෂණ ගැටලුවලට ගොදුරු වී සිටින බවත්මේ සඳහා දරුවන් වැරදි ආහාර පුරුදුවලට හුරුව සිටීම මීට බලපා ඇති ප්‍රධාන හේතුවක් ලෙස තහවුරු වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
එමෙන් ම කෘෂ බව, ස්ථුලතාව, මිටි බව, අධිබර, වැනි පෝෂණ ගැටලු රැසකට දරුවන් ගොදුරුවීමට ද, ඒ නිසා හෘද රෝග, දියවැඩියාව, පිළිකා වැනි බෝ නොවන රෝග සහ දන්ත රෝග වැනි වෙනත් ආබාධ වැළඳීමේ අවදානමකට දරුවන් ලක්වීමට ද වැරදි ආහාර පුරුදු බලපා ඇති බව හෙළි වී ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන නිවැරදි ආහාර පුරුදුවලට දරුවන් යොමු කළ හැකි අයුරින් පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම සම්බන්ධ ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දි තිබේ.
ඒ අනුව පාසල් තුළ සෞඛ්යාරක්ෂිත ආපන ශාලා පවත්වාගෙන යාම සම්බන්ධ ව අංක 35/2015 දරන 2015-12-31 දිනැති චක්‍රලේඛය මේ වනවිටත් සියලු පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කර තිබේ.
මෙම චක්‍රලේඛය අනුව, සියලු පාසල් ආපන ශාලා ක්ෂණික ආහාර, හා කාබනීකෘත බීම වෙනුවට ජාතික පෝෂණ ප්‍රතිපත්තියට අනුව නිසි පෝෂණ අවශ්‍යතා ආවරණය කෙරෙන ප්‍රමාණාත්මක හා ගුණාත්මක බවින් යුත් ආහාර ලබාදීමට සහතික විය යුතු අතර සාධාරණ මිල ගණන් යටතේ දරුවන්ට එම ආහාර ලබාගැනීමේ අවස්ථාව ද සැලසිය යුතු බවට නියම කර ඇත.
කෂිනි හපුආරච්චි
