නුවරඑළිය මහ රෝහලේ රුධිර අවශ්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අභියෝගයක්
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට දිනකට රුධිර ඒකක 20කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් අතරින් බහුතරයකට රක්තහීනතාවය හෙවත් හිමොග්ලොබින් මට්ටම අඩුවීමේ තත්ත්වය පවතින බැවින් මෙම රුධිර අවශ්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇතැයි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වයි.එම්.එස්.එස්. යාපා මහතා පැවසීය.
එක් රෝගියකු වෙනුවෙන් ඇතැම් අවස්ථාවලදී රුධිර ඒකක දෙකක් හෝ තුනක් ලබාදීමට සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා, රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ස්වේච්ඡා සංවිධාන මැදිහත්ව වසරකට අවම වශයෙන් දෙවතාවක්වත් රුධිර පරිත්‍යාග කඳවුරු සංවිධානය කරන ලෙස ඉල්ලීමක් කළේය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නුවරඑළිය තරුණ මුස්ලිම් සංගමය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ වැඩසටහනේ 21 වැනි වැඩසටහනට එක්වෙමින් රෝහල් අධ්යක්ෂවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය වයි.එම්.එස්.එස්. යාපා මහතා,
"විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණෙන රෝගීන් පරීක්ෂා කිරීමේදී බොහෝ දෙනකුගේ හිමොග්ලොබින් මට්ටම අඩු බව හඳුනාගැනීමට ලැබෙනවා. එවැනි අවස්ථාවලදී ඇතැම් රෝගීන්ට රුධිර ඒකක දෙකක් හෝ තුනක් ලබාදීමටත් සිදුවෙනවා.
සාමාන්‍යයෙන් දිනකට රුධිර ඒකක 20කට වැඩි ප්‍රමාණයක් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට අවශ්‍ය වෙනවා. රෝහල් කාර්ය මණ්ඩලය විවිධ උත්සාහයන් දරමින් රුධිර පරිත්‍යාග කඳවුරු සංවිධානය කරමින් මෙම අවශ්‍යතාව සපුරා ගැනීමට කටයුතු කළත්, තවදුරටත් රුධිර අවශ්‍යතාව පවතිනවා.
ඒ නිසා මෙම වැඩසටහන සංවිධානය කරන නුවරඑළිය තරුණ මුස්ලිම් සංගමය ඇතුළු අනෙකුත් ස්වේච්ඡා සංවිධානවලින් මා ඉල්ලා සිටින්නේ වසරකට අවම වශයෙන් දෙවතාවක්වත් රුධිර පරිත්‍යාග කඳවුරු පවත්වා රෝහලේ රුධිර අවශ්‍යතාව සපුරාලීමට දායක වන ලෙසයි.
රුධිරය අවශ්‍ය රෝගියකුට එය ලබාදීමෙන් තවත් මිනිස් ජීවිතයක් බේරාගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. එය ඉතා උතුම් සමාජ මෙහෙවරක්. ඒ වෙනුවෙන් දායක වන සියලු දෙනාගේ කැපවීම අපි ඉතා ඉහළින් අගය කරනවා."
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා දිසාපති තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ලේ දන් දීමේ වැඩසටහනට නුවරඑළිය තරුණ මුස්ලිම් සංගමයේ සභාපති ජේ.එම්. ඡායා මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය සහභාගි වූහ.සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදය මධ්‍යයේ ආරම්භ වූ මෙම වැඩසටහන සාර්ථකව පැවැත්විණි.
ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.