නීතිඥවරුන් සීමා කළ යුතුයැයි නීති විද්‍යාලයේ ඇතිව තිබෙන අලුත් මතයට එකඟ විය නොහැකි බවත් එයට එක් හේතුවක් ලෙස මේ නීතිඥ වෘත්තිය එක පංතියකට පමණක් සීමා කළ යුතු නැති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ලග්ගල අධිකරණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (27) එක්වෙමිනි.
එහිදි තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ,
“මේ අධිකරණය විවෘත වන්නේ මහවැලි ව්‍යාපාරය ආශ්‍රිතවයි. මොරගහකන්ද ව්‍යාපාරය තුළින් මේ ප්‍රදේශයේ කරන ලද සංවර්ධනයක ප්‍රතිඵලයක් වශයෙන් වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මා කටයුතු කරනු ලබන අවධියේදී මුලික විමෙන් මේ ව්‍යාපාරය එදා ආරම්භ කළා. අද මටම මෙය විවෘත කිරිමට ලැබිම යම් දෛවෝපගත සිද්ධියක් හැටියට මා විශ්වාස කරනවා. මහේස්ත්‍රාත් අධිකරණයක් වන මෙහි ශ්‍රේෂ්ඨාධිකරණයක් තුළ පවතින ඉඩ කඩ සහිත මනරම් පරිසරයක් සහිත වටපිටාවක් මෙම අධිකරණය තුළ තිබෙනවා. මේ අධිකරණ සංකිර්ණය ඉදි කිරිමෙන් ජනතාවට පහසුකම් ලබා දුන්නා වගේම මේ අධිකරණ සංකීර්ණයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත්තේ නැතිනම් මේ තිබෙන සම්පත් අපි අවභාවිතා කළා වෙනවා.
මේ තරම් ලස්සන අධිකරණ සංකීර්ණයක් ඉදි කරලා සතියකට දවසක් නඩු අහන එක එතරම් අර්ථාන්විත නැහැ. දැන් අධිකරණවල තදබදයක් තිබෙනවා. නඩු විශාල සංඛ්‍යාවක් ගොඩ ගැහිලා තිබෙනවා. ඒ නිසා නඩු මේ අධිකරණයටත් යොමු කරලා අවශ්‍ය වැඩපිළිවෙළ අධිකරණ සේවා කොමිසන් සභාව විසින් ගනු ඇතැයි අපේක්ෂා කරනවා. අධිකරණ සේවා කොමිසන් සභාවේ නිලධාරීන්ට මේ අධිකරණය බලන්න එන ලෙස ආරාධනා කරන්න ඕන. මේ අධිකරණයේ පහසුකම් පිළිබඳව ඒ අයට අවබෝධ කරගන්න එය පහසුවක් වනු ඇත.
මේ අධිකරණයේ අවට මනරම් පරිසරයක් නැතිනම් වැඩක් නැහැ. ඒ නිසා මේ අධිකරණයේ අවට පරිසරය ආරක්ෂා කර ගත යුතුයි. ග්‍රාමිය ප්‍රදේශවල මෙවැනි අධිකරණ සංකීර්ණ ඉදි කිරීම තුළින් යුක්තිය පසිඳලීම ජනතාව ළඟටම ගෙනයාම අපේ බලාපොරොත්තුවයි. විනිශ්චයකාරතුමන්ලාට නීතිඥවරුන්ට මෙන්ම නඩුකරයක් සදහා පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දීම අපේ යුතුකමක් වන බවත් මෙවැනි ආයෝජන ගෙන එන්නේ ඒ යුතුකම ඉටු කිරීමට බවත් ඒ නිසා උපරිම ප්‍රයෝජන ගැනීමට ජනතාව යොමු විය යුතුයි.
දැන් නීති විද්‍යාලයේ අලුත් මතයක් ඇති වෙමින් යනවා නීතිඥවරුන් සීමා කළ යුතුයි කියලා. ඒකට මම නම් එකඟ නැහැ. මොකද මේ නීතිඥ වෘත්තිය එක පන්තියකට පමණක් සීමා කළ යුතු නැහැ. ඒ වෘත්තිය වඩාත් පුළුල් කළ යුතු වෙනවා. මේ වගේ අධිකරණ පළාත්වල අධිකරණ වටා නීතිඥයින් එකතු වෙලා තමන්ගේ නඩු ප්‍රමාණය බෙදාගෙන කටයුතු කරන්න පුළුවන්. අලුතින් බිහිවන නීතිඥයින්ට මේ වගේ අධිකරණ තුළින් තමන්ගේ මුලික අත්දැකීම් ටික ලබා ගන්න පුළුවන්. නීතිඥ වෘත්තියේ ආදායම් මාර්ගවල බෙදීමක් ඇති කළ යුතුයි. නිති විද්‍යාලයට ඇතුළුවිම පිළිබඳව දැනට ඇති ගැටලු සාකච්ඡා කරලා යම් තිරසාර විසදුමක් ළඟදීම ලබා දෙනවා.
නීතිඥයින් වෙනුවෙන් අද පරිපාලන ක්ෂේත්රයේ රාජ්‍ය ක්ෂේත්රයේ විශාල රැකියා ප්‍රමාණයක් විවෘත වෙලා තිබෙනවා. නීතිඥ දැනුම සහිත පරිපාලකයින් අද රටට අවශ්‍යයි. ඒ නිසා නීති විද්‍යාලය විවෘත විශ්ව විද්‍යාලය නීති පීඨය වඩාත් පුළුල් විය යුතු කාලයක් මිසක් එය වසා දැමිය යුතු කාලයක් නොවෙයි. ඇති වන නුතන සමාජ අවශ්‍යතාවයන් අනුව නීතිරීති ඇති විය යුතු බවද” අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
