එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළෙන් ඊයේ (14දා) අලුයම ගුවන් මගීන් 275 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු පමණ රැගෙන ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ඒ.- 330 එයා බස් ගුවන් යානය උදෑසන 10.30 පමණ වනවිට තුර්කි ගුවන් සීමාව වෙත ඇතුළු වී තිබුණි .
ඒ වනවිට මෙම ගුවන් යානය තුර්කියේ අන්කාරා නුවර ප්‍රධාන ගුවන් ගමන් පාලක මැදිරිය සමග සම්බන්ධ වෙමින් අඩි 33,000 ක තරම් උසකින් ගමන් කරමින් තිබුණි .
එහිදී මෙම ගුවන් යානයට අඩි 35,000 ක් දක්වා ඉහළට ඔසවා , එම සීමාවේ ගමන් කරන ලෙස අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය උපදෙස් ලබා දී තිබේ .
එහෙත් මෙම උපදේශය පිළිබඳව විමසිලිමත් වූ මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවා , තම ගුවන් යානයේ වූ රේඩාර් උපකරණය මගින් මෙම තත්වය නිරීක්ෂණය කළ විට , එම අඩි 35,000 ක ගුවන් සීමාවේ බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් යානයක් ලන්ඩන් නුවර සිට ඩුබායි හරහා සිංගප්පූරු බලා , මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය ගමන් කරන ගුවන් මාර්ගයේ ම , තම ගුවන් යානයට වඩා වැඩි වේගයකින් ගමන් කරමින් පැමිණෙන බවට දැක ගැනීමට හැකි විය .
ඒ වනවිට මෙම ගුවන් යානා දෙක අතර පරතරය සැතපුම් 15 ක් තරම් සමීප මට්ටමක පැවති අතර , තවත් මිනිත්තු තුන , හතරකින් මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානයට සමීප වී අනතුරක් සිදු විය හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් නියමුවාට අවබෝධ විය .
වහාම මේ බැව් ශ්‍රී ලන්කන් ගුවන් නියමුවා විසින් අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය දැනුවත් කිරීමට කටයුතු කළ අතර , එහිදී ඔවුන් මෙම උපදේශය ලබා දෙන විට මෙම බ්‍රිතාන්‍ය ගුවන් යානය තම රේඩාර් තීරයේ නොපෙන්වූ බවත් , එහෙත් මේ වනවිට මෙම ගුවන් යානය ඔවුන්ගේ රේඩාර් තීරයේ දිස් වන බවත් , ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් යානය ගමන් කරමින් තිබූ අඩි 33,000 උසකින්ම මෙම ගුවන් ගමන තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට දැනුම් දීමට පියවර ගෙන තිබුණි.
මෙම බ්‍රිතාන්‍ය ගුවන් යානයේ ද ගුවන් මගීන් 250 කට වැඩි පිරිසක් සහ කාර්යය මණ්ඩලයේ පිරිසක් ද සිටියහ .
ඒ අනුව විචක්ෂණශීලී ලෙස කටයුතු කළ ශ්‍රී ලන්කන් ගුවන් නියමුවාගේ පරිණත බව නිසා ඉහළ අහසේ සිදුවීමට ගිය විශාල ගුවන් යානා අනතුරක් වලක්වා ගැනීමට හැකි වී තිබුණි .
මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය ඊයේ (14දා) දහවල් 12.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමීණ තිබුණි .