නැව් වලින් ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීමේදී අල්ලා ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් 17 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මීගමුව මහාධිකරණයේදී අද (12) නඩු පැවරුවේය.
මීට වසර දෙකකට පෙර මීගමු මුහුදේදී නාවික හමුදාව විසින් අල්ලා ගන්නා ලියාපදිංචි නොකළ නැවක සිටිමින් හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී නාවික හමුදාව විසින් මීට වසර දෙකකට පෙර මීගමු මුහුදේදී අල්ලා ගන්නා ලද මෙම කුඩු ජාවාරම්කරුවන් 17 දෙනාට එරෙහිව චෝදනා 19ක් යටතේ නීතිපතිවරයා නඩු පැවරුඩ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
එලෙස චෝදනා ගොනු කළ විත්තිකරුවන් 17 දෙනා අතර ඉරාන ජාතිකයින් 09 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු හා පාකිස්තානු, ඉන්දියානු හා සිංගප්පුරූ ජාතිකයකුද සිටී.
අපරාධය සිදුකොට වසර 02 කට පසු අදාළ විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරීමට නීතිපතිවරයා පියවර ගෙන ඇත.
2016 ජනවාරි මස පළමුවැනිදාත් එම වසරේම මාර්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ මීගමුව ප්‍රදේශයේදී ලියාපදිංචි නොකළ නැවක සිටිමින් ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝග්‍රෑම් 48ක් ආනයනය කිරීම, එම හෙරොයින් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත.
විත්තිකරුවන්ට එරෙහි නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 80 දෙනෙකු භාණ්ඩ 116ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
