වත්මන් රජය පසුගිය අවුරුදු පහ තුළ අපහසුවෙන් ආරම්භ කළ නවීකරණය ඉදිරියටත් ගෙනයන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍යය, යටිතල පහසුකම් යන කේෂ්ත්‍රවල නවීකරණයක් සිදුවිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
රට ඉදිරියට ගෙන යෑම ගැන සියලු දෙනා තවදුරටත් කල්පනා කළ යුතු බවත්, තීන්දු තීරණ ගන්නා විට ආපස්සට ගියහොත් රට පිරිහීමට ලක්වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මාලඹේ-කොටුව සැහැල්ලු දුම්රිය මාර්ගය හඳුන්වාදීම වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ (03) සවස පැවැති උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,
“21 වැනි ශතවර්ෂයේ නවීකරණයට වැදගත් පියවරක් අද මෙම ස්ථානයේදී සිදුවුණා. කොළඹ සැහැල්ලු දුම්රියපද්ධති වැඩසටහන අද ආරම්භ වුණා. මෙම පද්ධතියේ පළමු සැහැල්ලු දුම්රිය මාර්ගය කොළඹ ඉඳන් මාලඹේට ඇතිවීම නිසා අපේ ප්‍රවාහනයේ නවීකරණයක් සිදුවනවා. ලංකාව නවීකරණය වන අවස්ථාවේදී හැම ක්ෂේත්රයක්ම නවීකරණය වෙන්න ඕන.
අධ්‍යාපන, සෞඛ්‍ය, වාණිජ, ප්‍රවාහන, යටිතල පහසුකම්වල නවීකරණයක් සිදුවෙන්න තිබෙනවා. එය අපි ආරම්භ කර තිබෙනවා. කොළඹ නගරයේ නවීකරණය හැටියට පෝර්ට් සිටිය ඉදිවෙනවා. අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස ඉදිකිරීම ඇතුළු සෑම ක්ෂේත්රයකම වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතිය නිසා කොළඹ සිට මාලඹේට අලුත්ප්රවාහන අංශයක් ඇතිවෙනවා.
කොළඹ, රට නවීකරණය කරන්න බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් කොටුවේ ඇති වෙනවා. කැළණියේ සිට කුලුනු මත කොළඹ වරාය දක්වාත්, රාජගිරිය දක්වාත් මාර්ග ඉදිවෙනවා. අලුත් මහ නගරයක් ඉන් බිහිවෙනවා. අපි අනාගතය ගැන බලන්න ඕන. ඉදිරිය ගැන හිතන්න ඕන. අපට දියුණුවෙන්න පුළුවන්.
අපි පස්සට යන්න හදනව නම් මේ රට පිරිහෙනවා. අපි වැදගත් ස්ථානයකට දැන් ඇවිත් ඉන්නවා. පසුගිය අවුරුදු පහේ අමාරුවෙන් අපි නවීකරණය ආරම්භ කළා. ඒ නවීකරණය ඉදිරියට ගෙන යා යුතුයි" යනුවෙන් පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා,
"අධික ජනගහන ඝනත්වයකින් යුතු මේ රටේ තවදුරටත් පෞද්ගලික රථවාහනවලට ඉඩදීමෙන් මේ රට තව අඟලක්වත් ඉදිරියට ගෙනියන්න බැහැ. මේ රටේ සෑම පුරවැසියෙකුටම පෞද්ගලික වාහනයක් ලබාදීලා රටේ ප්‍රවාහන කේෂ්ත්‍රය තවදුරටත් දියුණු කරන්න බැහැ.
පසුගිය දශක 1 ½ක කාලය තුළ රජයේ ප්‍රාග්ධන වියදම්වලින් 40%කට වැඩි ප්‍රමාණයක් වැයවුණේ පෞද්ගලික ප්‍රවාහනය ඉදිරියට ගෙනයෑම සඳහා. මෙතැන් සිට ඇති කරන මේ ව්‍යාපෘතිය මගින් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට විප්ලවකාරී ඉදිරි පියවරක් තබනවා ඇති. දුම්රිය සේවය, බස් නවීකරණය, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම, පවතින දුම්රිය නවීකරණය මගින් ඉදිරි දශකයේදී රටේ පොදු ප්‍රවාහනය ශක්තිමත් තලයකට පැමිණෙනවා ඇති.
මෙම විදුලි දුම්රිය නිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ විප්ලවකාරී වෙනසක් සිදු වේවි. ලබන වසරේදී කොළඹ දුම්රිය ස්ථානය අසලින් අපි මැනිං වෙළෙඳ පොළ ඉවත් කරනවා. ප්‍රංශ රජයේ අධාරයෙන් අපි සම්පූර්ණයෙන්ම කොටුව දුම්රිය ස්ථානයත්, බස් නැවතුමත් එකට ගෙනඑන බහුවිධ ප්‍රවාහනය මධ්‍යස්ථානය මේ වෙනකොට සැලසුම් කර අවසන් කර තිබෙනවා. ලබන වසරේදී එහි ඉදිකිරීම් ආරම්භ කරනවා.
මේ රටේ ව්‍යාපෘතියක් කරගෙන යෑමට විශාල කාලයක් අවශ්‍ය වෙනවා. මහවැලි ව්‍යාපාරය 1950 ගණන්වල සැලසුම් කළ එකක්. අධිවේගී මාර්ග පද්ධතිය 1968 සිට සැලසුම් කර තිබුණා. ඒවා දැන් තමයි ක්‍රමයෙන් යථාර්ථයක් බවට පත්වෙන්නේ. නමුත් මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය අපි 2016දී ආරම්භ කරලා 2019 වනවිට සියලු අධ්‍යයනයන් අවසන් කරලා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන තත්ත්වයට ගෙන ආවා" යනුවෙන් පවසා සිටියේය.
කිලෝමීටර් 16 දුරකට ඉදිකරන මෙම සැහැල්ලු දුම්රිය මාර්ගය ඔස්සේ මාලඹේ සිට කොටුව දක්වා විනාඩි 32 කාලයක් තුළ ළඟා විය හැකි බවත්, ව්‍යෘපෘතියේ සැලසුම සැකසීම හා ප්‍රසම්පාදන කටයුතුවලින් පසුව 2020දී ඉදිකිරීම් ආරම්භ කර 2024දී අවසන් කරන බවත් ව්‍යාපෘති අධ්යක්ෂ කමාන්ඩර් චමින්ද ආරියදාස මහතා මෙහිදී පැවසීය.
අර්ජුන රණතුංග, අශෝක් අබේසිංහ යන ඇමතිවරුන්, ජපානයේ හා ප්‍රංශයේ තානාපතිවරුන්, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට සම්බන්ධ දෙස් විදෙස් නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප ඉසුරු පෙරේරා




