රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් (2,60,00,000) ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ සිංගප්පූරු ජාතික යුවළක් ඊයේ (28දා) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.
මොවුන් වයස අවුරුදු 55 සහ 45 යන සීමා වල පසුවන සිංගප්පූරු ජාතික යුවළක් වන අතර , ඔවුන් එරට ප්‍රධාන පෙළේ විදේශ මුදල් හුවමාරු ආයතනයක හිමිකරුවන් වේ. මේ වසරේ , මේ වනවිට පමණක් මොවුන් දෙදෙනා හය වතාවක් පමණ , ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බවට රේගුව සිදු කළ මූලික පරීක්ෂණ වල දී අනාවරණය කර ගෙන තිබේ.
මොවුන් ඇඳ සිටි කලිසම් වල සාක්කු වල සහ ඒවාට යටින් , තම සිරුරු වල ද , මෙම කිලෝ ග්රැම් 04 යි ග්රැම් 850 ක් බර ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.
ටී.කේ.ජී. කපිල
