දුම්කොළ නිෂ්පාදනයන් සඳහා සම්මත (අවර්ණ) ඇසුරුම්කරණය හඳුන්වා දීමට අදාළව 2006 අංක 27 දරන ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරී පනත සංශෝධනය කිරීමට කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මෙහිදී දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් සඳහා වර්ණ දෙකක් හෝ සුදු හා කළු යන වර්ණ පමණක් භාවිත කළ හැකි අතර, වෙළෙඳනාමය, නිෂ්පාදන නාමය, නිෂ්පාදනයේ ප්‍රමාණය සහ සෞඛ්‍යමය අනතුරු ඇඟවීම් ආදී රජය විසින් නිශ්චය කළ හෝ අනිවාර්ය කළ තොරතුරු හෝ සලකුණක් හැර අන් කිසිවක් එම ඇසුරුම්වල ප්‍රදර්ශනය කිරීමට ඉඩ දෙනු නොලැබේ.
දුම්කොළ පරිභෝජනය මගින් ඇති කරනු ලබන සෘජු හෝ වක්‍ර බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවන බවට ගණන් බලා තිබේ. පසුගිය කාලය පුරා දුම්කොළ හා මද්‍යසාර භාවිතය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රතිඵලයක් වශයෙන් 2011 වර්ෂයේදී 29%ක්ව පැවැති ශ්‍රී ලංකාවේ වැඩිහිටි පිරිමි තැනැත්තන් අතර දුම්කොළ පරිභෝජනය 2015 වර්ෂය වන විට 24% දක්වා අඩු වී තිබේ.
ඉදිරි වසර 4ක කාලය තුළ එම අගය 15%ක් දක්වා අඩු කරගැනීම මගින් දුම්කොළ භාවිතය හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ 6,000ක් පමණ වළක්වා ගැනීම රජයේ අපේක්ෂාව වේ. ඒ අනුව, දුම්පානය අධෛර්යමත් කිරීමේ එක් උපක්‍රමයක් වශයෙන්, සියලුම දුම්කොළ නිෂ්පාදන ඇසුරුම්වල ඇති ආකර්ෂණීය බව අඩු වන පරිදි ‘සම්මත ඇසුරුම්කරණය’ හඳුන්වා දීමට යෝජනා වී තිබේ.