රංග ශ්‍රී පීරිස්
නිදහස් ශ්‍රී ලංකාවේ දෙවැනි ආග්රාමාත්ය ඩඩ්ලි සේනානායක මහතාගේ 109 වැනි ජන්ම දින සංවත්සරය අද (19දා) දිනට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහස් ශ්‍රී ලංකාවේ දෙවැනි අගමැතිවරයා වූයේ ඩඩ්ලි සේනානායක මහතායි. එතුමා ඩී.එස්. සේනානායක මහතාට හා මෞලි දුනුවිල මහත්මියට දාව 1911 ජුනි මස 19 වැනිදා මෙලොව උපත ලැබීය. ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කේපස් ක්‍රිස්ටි කොලීජියෙන් කෘෂිකර්මය පිළිබඳ උපාධියක්ද ලබා ගත්තේය. ඩඩ්ලි සේනානායක ඉගෙනීමටද ක්‍රීඩාවටද එකසේ දස්කම් දැක්වීය. ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද ඔහු විසින් දරා ඇත. එසේම ඔහු හොකී හා බොක්සිං ක්රීඩාවලදීද දස්කම් පෑවේය.
උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු 1930 වසරේදී අධිනීතිඥවරයෙකු ලෙස සුප්‍රසිද්ධ අධිනීතිඥවරයෙකු වූ එච්.ටී. පෙරේරා මහතා යටතේ නීතිඥ වෘත්තියෙහි නියැළුණේය. අනතුරුව දේශපාලනයට පිවිසි එතුමා 1936 වසරේදී වැඩි ඡන්ද 8,299ක් ලබා ගනිමින් දැදිගම ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය. කුඩා කල සිටම ධාර්මික ජීවිතයක් ගෙවූ එතුමා ලැබූ ජයග්රහණයෙන් උදම් නොවීය. තරුණ ඩඩ්ලි සේනානායක දේශපාලන ක්ෂේත්‍ර‘යේද හපනෙකු වූයේ ඔහු සතු වූ සුවිශේෂී දක්ෂතා නිසාය. ඒ නිසාම ඔහුට 1939දී ලංකා ජාතික සංගමයේ සමලේකම් ධුරය හිමිවිය. තම පියා එවකට කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරූ අතර, 1974 වසරේ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූවත් ඔහු අමාත්‍ය ධුරයක් භාරගැනීම ප්‍රතික්ෂේප කළේ එයින් තම පියාට කැළලක් වේ යැයි සිතාය. එහෙත් කේම්බ්‍රිජ් සරසවියෙන් කෘෂිකර්ම උපාධියක් ලබා සිටි ඔහුට එය ප්‍රතික්ෂේප කර සැඟවී සිටීමට නොහැකි විය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම උපාධියක් ලැබ ඒ සඳහා සිටි එකම සුදුස්සා ඔහු වූ බැවින් ඩඩ්ලිට කෘෂිකර්ම අමාත්‍ය ධුරය හිමිවිය.
කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තේරී පත්වූ ඩඩ්ලි සේනානායක අමාත්‍යවරයාට කෘෂිකර්ම ක්ෂේත්‍ර‘යේ නව පෙරළියක් ඇති කිරීමට හැකි විය. ඒ නිසාම ඔහු %ජාතියට බත් දුන් පියා^ යන විරුදාවලියෙන්ද පිදුම් ලැබීය. විශේෂයෙන් ඉගිනියාගල විදුලි බලාගාරය, හිඟුරාන සීනි කම්හල හා අම්පාර හාඩි විද්‍යාලය ඔහුගේ ව්‍යාපෘති විය. ඔහුගේ දස්කම් නිසාම දකුණු ආසියාවේ ක්‍රියාකාරීම අමාත්‍යවරයා ලෙස ඔහු ප්‍රසිද්ධියට පත්විය. දුප්පතාගේ කුසගිනි නිවීම ඔහුගේ අභිප්‍රාය විය. ඩඩ්ලිගේ දස්කම් නිසාම ඩී.එස්. සේනානායක මහතා මියගිය පසු ආණ්ඩුකාර සෝල්බරි විසින් ඔහුව අගමැති ධුරයට පත්කරන ලදී. ඒ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා සිටියදීය. කොතලාවල මහතා සිටියදී තමාව අගමැති ධුරයට පත්කිරීම පිළිබඳ එතුමා එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. සමාජයෙන්ද විවිධ කසුකුසු ඇසෙන්නට විය. තමා නිර්දෝෂී බව ඔප්පු කරන්නට හොඳම ක්‍රමය පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බව තේරුම් ගත් ඩඩ්ලි සේනානායක අගමැතිවරයා ආණ්ඩුව විසුරුවන ලෙස ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබා දුන්නේය. 1952 වසරේදී පැවැති මහ මැතිවරණයෙන් ඔහු නැවතත් අගමැති ධුරයට පත්වූයේ ආසන 95න් 54ක් දිනා ගනිමිනි. සිවුවරක් අගමැති ධුරයට පත්වීමෙන්ම ඩඩ්ලි සේනානායක මහතාට තිබූ ජනප්රසාදය මැනවින් තේරුම් ගත හැකිය.
ඩඩ්ලි සේනානායක කිසි විටෙකත් බලය පසුපස හඹා නොගියේය. ඔහු ඕනෑම අවස්ථාවක බලය අතහරින්නට සූදානම්ව සිටි අයෙකි. මේ සඳහා ඔහු ක්‍රියාවෙන්ම ආදර්ශ සැපයුවේය.
1953 වසරේදී පැවැති හර්තාලයකදී දොරේසාමි නම් පුද්ගලයෙකු මරණයට පත් විය. එතුමා එහි වගකීම භාර ගනිමින් අගමැති ධුරයෙන් ඉවත් විය. නමුත් 1960 පැවැති මැතිවරණයෙන් ඔහු යළිත් වරක් අගමැති ධුරයට පත් විය. කෙසේ වෙතත් එහිදී රාජාසන කතාව පරාජය වූ බැවින් ඔහුට අගමැති ධුරයේ රැඳී සිටීමට වරම් හිමි නොවීය. 1965 පැවැති මැතිවරණයෙන් සිවුවැනි වතාවටත් ඔහු වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් අගමැති ධුරයට පත් විය.
ඩඩ්ලි සේනානායක මැතිතුමන් කෙතරම් ධාර්මික අයෙකු වූවත් කිසිවිටෙකත් දීනයෙකු වූයේ නැත. ඔහු තම පියාටද ඇතැම් විට විරුද්ධ විය. වරක් තම පියාගේ තීරණවලට එකඟ විය නොහැකි බව දන්වමින් ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ඉවත්වීමට පවා තීරණය කළේය. ඒ බව දන්වා ඔහු තම පියාට මෙලෙස ලියා යැව්වේය. “ආදරණීය පියතුමනි, අපි දෙදෙනා එකම වහලයක් යට ජීවත් වන්නෙමු. ඔබේ පුත්‍රයා ලෙසින් මේ අයුරින් කටයුතු කිරීමට සිදුවීම අපහසු තත්ත්වයකි. අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් ඔබ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන සමහර යෝජනාවන්ට මට එකඟ විය නොහැකිය. අවස්ථා බොහොමයකදී ඔබට විරුද්ධ වන්නට මට සිදුවිය. එවැන්නක් අදද සිදුවිය. මේ තුළින් මම දැඩි මානසික පීඩනයකට පත්ව සිටිමි. එබැවින් රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළෙමි."
තම පුතුගේ මේ ඉල්ලීමට ඩී.එස්. සේනානායක පියාණන්ද පිළිතුරු ලිපියක් යැවීය. එහි සඳහන් කර තිබුණේ ඒ සඳහා කිසිදු බාධාවක් නොමැති බවත්, රට වෙනුවෙන් ගත යුතු තීරණය ගන්නා ලෙසත්ය. මෙය වර්තමාන පාලකයන්ට ගත හැකි මහඟු ආදර්ශයකි. තම පුතුගේ මෙවැනි අභීත තීරණ නිසා පියෙකු ලෙස ඩී.එස්. සේනානායක මැතිතුමන්ද අතිශයින් සතුටට පත් විය.
වරක් දෙවැනි එළිසබෙත් රැජිණගේ රාජ්‍ය ප්රාප්ති උළෙලට සහභාගි වූ ඩඩ්ලි සේනානායක මැතිතුමන්ට හා රොඩේෂියාවේ අග්‍රාමාත්‍යවරයාට යාමට තිබුණේ එකම නිල රථයෙනි. ඩඩ්ලි සේනානායක අගමැතිතුමන්ට එය නොරිස්සුම් විය. දෙදෙනාටම යාමට ඇත්තේ එකම රථයක් නම් තමන් ඊළඟ ගුවන්යානයෙන් ලංකාවට යන බව සංවිධායකයන්ට දැන් විය. සුළු වේලාවකින් ඔහුට වෙනම රථයක් හිමි විය. එහිදී ලංකාව කුඩා රටක් වුවද තම අභිමානය පාවාදීමට එකඟ නොවීම මෙම සිද්ධියෙන් පැහැදිලි වේ.
සිංහල, දෙමළ ජාතික ප්‍රශ්නයට සැබෑ විසඳුමක් සෙවීමටද ඩඩ්ලි සේනානායකට දැඩි උනන්දුවක් තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඩඩ්ලි, වෙල්වනායගම් ගිවිසුම ඉදිරිපත් කළද එය ව්‍යර්ථ විය. දමිළ නායකයන් සමග විවිධ සම්බන්ධකම් පවත්වමින් ගිවිසුම්වලට එළඹීමට දැරූ උත්සාහය නිසා සිංහල සමාජයෙන් ඔහුට දැඩි විරෝධතාවක් එල්ල විය. කෙසේ වෙතත් ඔහු ඒ සියල්ල සමසිතින් විඳ දරා ගත්තේ ඔහුට දමිළ සිංහල සමගිය ඇති කිරීමට සැබෑ වුවමනාවක් තිබූ බැවිනි.
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අප මාතෘභූමියට අනූපම සේවාවක් සිදු කළ ඩඩ්ලි සේනානායක මැතිතුමා 1973 අප්‍රේල් මස 14 වැනිදා අප අතරින් සමුගත්තේ සියලු දෙනාගේම සෝසුසුම් මධ්‍යයේය. ඔහු සමුගන්නා විට ඔහුගේ කිසිවෙකුත් දේශපාලනයට සම්බන්ධ කර තිබුණේ නැත. එසේම ඔහු ඉතිරි කර ගෙන තිබුණේ සොච්චම් මුදලක් පමණි. ඔහුගේ ගේ දොරද බුදු දහමේ චිරස්ථතිය පිණිස සසුනට පූජා කර තිබිණි.
