පෞද්ගලික සමාගමක් හිතුමතේට තිරිඟු පිටි මිල ඉහළ දැමීම තම රජය කිසිසේත් අනුමත නොකරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
අනුරාධපුර හුරුළු වැව වාරි ව්‍යාපෘතිය යටතේ පවතින කෘෂි මාර්ග නවිකරණ වැඩසටහන වන “ දියවර නෑයෝ ” හා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය
ආනයනික සහ දේශීය ආහාර ද්‍රව්‍ය භාණ්ඩ මිල තීරණ කරනු ලබන ජීවන වියදම් කමිටුවේ නිර්දේශයකින් හා කැබිනට් මණ්ඩලයේ තීන්දුවකින් තොරව පෞද්ගලික සමාගමක් පසුගිය දා තිරිඟු පිටි කිලෝවක මිල රු. 5කින් ඉහළ දැමීම ජීවන වියදම් කමිටුවේ සභාපතිවරයා ලෙස තමා කිසි විටෙකත් අනුමත නොකරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මීට පෙර අවස්ථාවකදී ද විදේශීය තිරිඟු පිටි මිල හා සසඳමින් ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කර තිබුණා. නමුත් අපේ ජීවන වියදම් කමිටුවේ තීන්දුවකට අනුව එම මිල නැවත සංශෝධනයකට ලක් කරමින් සමාගම් විසින් වැඩි කරන ලද මුදල අඩු කරනු ලැබූවා. හෙට ( 10 ) දිනයේ පස්වරුවේ දී පැවැත්වෙන ජීවන වියදම් කමිටුව මඟින් තිරිඟු පිටි මිල පිළිබඳ සාකච්ඡා කොට සමාගම්වල ඉල්ලීම් සලකා බලමින් තිරිඟු පිටි කිලෝවක මිල තීරණය කරන බව හෙතෙම වැඩිදුරටත් කීය.
පෞද්ගලික සමාගම් රජයේ අවසරයකින් තොරව මෙම තීන්දු තීරණ ගැනීම හෙළා දකින බවත් ජනතාවට ඉදිරියේදී සහනදායී තීන්දුවකට එළැඹෙන බවත් හෙට දිනයේදී ගනු ලබන තීන්දුව කැබිනට් මණ්ඩලය වෙත දන්වා මේ සතිය තුළම තිරිඟු පිටි කිලෝවක් සඳහා වන පාලන මිල තීන්දු කරනු ලබන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
කෂිනි හපුආරච්චි
