ශ්‍රී ලංකාව හා ජපානය අතර ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපානයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය කෙනජි හරඩා මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (26දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී ගිවිසුමකට අත්සන් තැබීය.
මෙම ගිවිසුම මඟින් දුපත් රාජ්‍යයන් දෙකක් වන ජපානය සහ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරිමට අවශ්‍ය පියවර ගනු ලබන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන වෙරළාරක්ෂක බළකාය අතර තොරතුරු, දැනුම සහ පුහුණු ඉඩ ප්රස්ථා වර්ධනය කර ගැනීමට නියමිතය.
අත්සන් කෙරුණු මෙම ගිවිසුම මඟින් මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් ඇතුළු නීති විරෝධි කටයුතුවලට එරෙහිව තවදුරටත් පියවර ගනු ලබන අතර ආපදා අවස්ථාවන්හිදී හදිසි පියවර ගැනීමට අදාළව තාක්ෂණික දැනුම සහ පුහුණු ඉඩ ප්රස්ථා පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර ඇත.
ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ශෝකය ප්‍රකාශ කරමින් ත්රස්තවාදයට එරෙහිව ශ්‍රි ලංකාව සිදුකරන කටයුතු වලට ජපානය ලබාදෙන සහාය පිළිබඳව ජපන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිය ස්තූතිය ප්‍රකාශ කෙළේය.
ශ්‍රි ලංකාවේ පැවැත්වෙන ආරක්ෂක සමුළු සහ විශේෂ පුහුණූ අවස්ථා සඳහා ජපාන ආරක්ෂක අංශ වෙත සහභාගී වන ලෙසට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරාධනා කල අතර එම ආරාධනාව පිළිගනිමින් ජපාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය කෙනජි හරඩා මහතා ද ජපානයේ පැවැත්වෙන ආරක්ෂක සමුළු සහ තාක්ෂණික පුහුණු වැඩසටහන් සඳහා ශ්‍රි ලංකාවේ ආරක්ෂක අංශ වෙතද ආරාධනා කළේය.
