වරදකරුවන්ට සමාව ප්රදානය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ජනාධිපතිවරයාට බලය ලබාදී ඇතත් ජනාධිපතිවරු එම බලය පාවිච්චි කිරීමේදී අසමානතා මතුවිය හැකි හෙයින් එම අසමානතා මගහැරීම සදහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (20) ඉල්ලා සිටියේය.
වරදකරුවන්ට සමාව දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලය විවාදයට භාජනය කල නොහැකි බවද පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ දී ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කුරිරු ලෙස ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ වරදකරුවූ මරණීය දණ්ඩනය නියම වූ ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකොට තිබූ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ දී එලෙස ඉල්ලා සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.
කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනු කොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අධිකරණ ඇමතිවරයා, ජනාධිපති ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කොට ඇත.
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළ ජූඩ් ශ්රමන්ත ජයමහ නමැත්තාට විශේෂ ජනාධිපති සමාව දීමට අදාළව අධිකරණයට ඉදිරිපත් කර ඇති ලිපිගොනුව පිළිබඳව සම්බන්ධයෙන් තම සේවාදායකයා ජනාධිපති කාර්යාලයෙන් විමසීමක් කළ බවත් එවිට එම ලිපිගොනුව ජනාධිපති කාර්යාලයේ නොමැති බව එම කාර්යාලය තම සේවාදායකයාට දනුම්දී ඇතැයිද පැවසීය.
මෙම ලිපිගොනුව සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස තම සේවාදායකයා තොරතුරු දැනගැනීමේ පනත යටතේ අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැයිද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා වැඩිදුරටත් පැවසීය. වැඩිදුර පෙත්සම් විභාගය ජුලි මස 13 වැනිදා යළි පැවැත්වේ.