ජනපතිගේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ ඡන්ද විමසීමක්?
අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරයේදී ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිත ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ ඡන්ද විමසීමක් ඉල්ලීමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්රීවරුන් අතරින් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීම අද (02දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්රීවරයෙක් 'අද' පුවත්පතට පැවසීය.
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් සිදුකරන ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව මීට පෙර ජනතා විමුක්ති පෙරමුණද සඳහන් කළේය.
මේ අතර හෙට (03දා) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම අද (02දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිතව ඇත.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් හෙට (03දා) පක්ෂනායක රැස්වීමක්ද පැවැත්වීමට නියමිතය.
මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ලෙස මහින්ද අමරවීර, සභානායක ලෙස දිනේශ් ගුණවර්ධන යන මහත්වරුන් ආණ්ඩු පක්ෂයෙන් යෝජනා වී ඇති අතර, විපක්ෂයේ ප්රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇති බවට වාර්තා වේ. එසේම මෙම නම් හෙට (03දා) දින ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

