චිනය පුරා මේ දිනවල ශිඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ද සිය අවධානය යොමු කර තිබේ .
දිනපතා චිනයේ බෙයිජිං , ග්වැන්ෂෝ සහ චෙංඩු යන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වල සිට ගුවන් මගීන් 1,000 ක් පමණ රැගෙන ගුවන් යානා 04 ක් පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙයි .
මීට අමතරව ජපානය , තායිලන්තය වැනි රටවල් ගණනාවක ද මේහා සමාන වෛරස රෝගීන් වාර්තා වී තිබෙන අතර , එම රටවල සිට ද තවත් ගුවන් යානා රාශියක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීම සිදු කරයි .
මේ තත්ත්වය පිළිබඳව ඊයේ ( 21) සහ අද (22) යන දිනවල ලෝක සෞඛ්‍ය සංවිධානය , දේශීය වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය , ගුවන් සේවා අමාත්‍යාංශය , සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ගුවන් තොටුපළ බලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡා දෙකක් ද ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී පැවැත්වුනි .
තද උණ සහ ශ්වසන අපහසුතා මෙම කොරෝනා වෛරස රෝගයේ මූලික ලක්ෂණ බව අනාවරණය වී තිබේ .
ඒ අනුව මෙම රෝග ලක්ෂණ පහළ කරන ගුවන් මගීන් තම ගුවන් යානා වලින් පැමිණෙන්නේ නම් , ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත වාර්තා කළ යුතු බවට , එම යානා වල ගුවන් නියමුවන් දැනුවත් කර තිබේ .
ඊට අමතරව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ද , මෙවැනි රෝග ලක්ෂණ තිබෙන ගුවන් මගීන් ශ්‍රී ලංකාව තුළට තම කවුළු ඔස්සේ පැමිණෙන්නේ නම් , ඒ බැව් ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත දැනුම් දීමට අවශ්‍ය පියවර ගෙන තිබේ .
එමෙන්ම ගුවන් මගින් පැමිණෙන සියලුම ගුවන් මගීන්ගේ සිරුරු වල උෂ්ණත්වය මැන , වාර්තා කිරීම සදහා විශේෂ ස්වයංක්‍රීය යන්ත්‍ර 03 ක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කර තිබේ .
මෙම මූලාශ්‍ර මගින් කිසියම් රෝගී ගුවන් මගියෙකු , ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත වාර්තා වුවහොත් , ඔවුන් වහාම කොළඹ අයි.ඩී.එච්. උණ රෝහල වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .
