ඝණ හා අර්ධ ඝණ ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුලත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය ලබන මස 01 දා සිට බලාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
1980 අංක 26 දරන ආහාර පනතට අනුව ඊට අදාළ රෙගුලාසි ඇතුලත් අතිවිශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අප්‍රේල් මස 17 දින නිකුත් කර ඇත.
මෙම නියෝග පැනවීමේ මූලික පරමාර්ථය වනුයේ ආහාර වල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය පාදක කරගෙන ශ්‍රී ලංකාව තුළ දැනට වර්ධනය වෙමින් පවතින බෝනොවන රෝග වලින් පෙළෙන ජනතාවට ආහාර තෝරා ගැනීමේ දී මගපෙන්වීමටත්, පොදුවේ ශ්‍රී ලංකාවාසීන්ට ආහාර සම්බන්ධයෙන් අවබෝධාත්මක පෙළඹවිමක් ඇති කිරීමටත් මෙය ක්‍රියාත්මක කෙරේ.
ලබන මස 01 දිනෙන් පසු නිෂ්පාදනය කරනු ලබන ඝණ හා අර්ධ ඝණ ආහාර වල වර්ණ සංකේතවත් කිරිම නිසි අයුරින් සිදු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇත.
එම ආහාර නිෂ්පාදකයින් සමග සාකච්ඡා කර එකගතාවයක් ඇතිකර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
මෙම ක්‍රමවේදය අධික සීනි සහිත පානයන් හදුනා ගැනීම සඳහා ඉතා පහසුවක් වූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්ෂණ වලින් හෙළිදරව් වූයේ පාසල් ළමුන්ගෙන් සියයට 50ක් පැණිබීම භාවිතා කිරීමට ප්‍රථම වර්ණ සංකේත පරීක්ෂා කරන බවයි.
එම සංකල්පය ඝණ සහ අර්ධ ඝණ ආහාර සඳහා ක්‍රියාත්මක කිරීමේ දී සීනි සඳහා පමණක් නොව ලුණු සහ මේදය යන ආහාර සංඝටක 02 ද ඇතුලත් කිරීමට තීරණය කරන ලදි.
ඒ අනුව ජනතාව තම ආහාර තෝරා ගැනීමේ දී ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණයන් සම්බන්ධයෙන් එම ආහාරයේ ලේබලයෙන් නිසි තොරතුරු ලබාගත හැකිය. මේ අනුව දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, වැනි බෝනොවන රෝග වලින් පෙළෙන රෝගීන්ටත් එම රෝග වැළදීමට වැඩි අවධානමක් ඇති අයටත් එම තත්ත්වයන්ගෙන් මිදීමට මෙය පිටුවහලක් වනු ඇත.
මෙම ක්‍රමය ප්‍රායෝගිකව රට තුල ක්‍රියාත්මක කිරීමේ දී එම ආහාර නිෂ්පාදකයින්ට විවිධ ආහාර වර්ගවල ඉහත සංඝටකයන් කොතරම් ප්‍රමාණයක් ඇත් ද යන්න රසායනාගාර පරීක්ෂාවක් මගින් තහවුරු කර ගත යුතු බැවින් කුඩා සහ මධ්‍යම පරිමානයේ ව්‍යවසායකයින්ට එම කටයුත්තේ ඇති අපහසු බව පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහනයක් ඉල්ලා සිටින ලදි.
මේ පිළිබඳව සානුකම්පිතව සලකා බැලූ සෞඛ්‍ය අමාත්‍යවරයා එම ව්‍යවසායකයින් සදහා මෙම නියෝගයන්ට අනුකූලවීම සඳහා මාස 03 ක සහන කාලයක් ලබාදෙන ලෙස ප්‍රධාන ආහාර බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත. මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරිම සඳහා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් ද දැනුවත් කර ඇත.
